sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

ඉතින් ආයුබෝවන් ලක්‌ මවුනි ගරු... ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතාපදානය නැවත කියවීමක්‌

"අස්‌ගිරියේ අලුත් විහාරයේ නේත්‍රා පින්කමට රජ්ජුරුවෝ පැමිණියේ මව් බිසෝ සාමීන් හා මැද වාහල උන්නාන්සේ ද (සොහොයුරිය) සමගය. ඒ වන විට එතුමාගේ වයස අවුරුදු විසි එකකි. උඩරට ජනතාව එතුමාට බොහෝ ආදරය කළහ. එතුමා ද බුදු සසුනේ චිරස්‌තිථිය සඳහා කටයුතු කළේය. පිළිමතලව්වේ හා ඇහැලේපොළ යන මහ නිලමේලාත්, සංඝයා වහන්සේලා විශාල ප්‍රමාණයකුත්, උඩරට නිලමේලා බොහෝ ගණනකුත් එදා එතැනට රැස්‌ වී සිටියහ. උඩස්‌ගිරිය හා කහවත්ත ඇතුළුව විහාරයට පූජා කරනු ලබන ගම්බිම්වල තොරතුරු ඇතුළත් තල්පත අලුත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරියෙහි තැබූ මේසයක්‌ මත තබා පූජා කරන ලදි. ඉන් පසුව රාජකීය පිරිස විහාරය වටා ප්‍රදක්‌ෂිණාවේ යෙදුනාහ. සැතපෙන බුදු පිළිමය නෙළන ලද ගල් පර්වතයෙහි සුදුසු තැනක්‌ දුටු රජතුමා නියෝග කළේ, තල්පතෙහි ලියන ලද පුද පූජා පිළිබඳ විස්‌තරය එහි කොටවන ලෙසත්, එය පරීක්‌ෂා කිරීම සඳහා යළිත් තමන් විහාරයට පැමිණෙන බවත්ය. පැවසූ පරිදිම පෝය දෙකක්‌ ගෙවී ගිය තැන රජතුමා නැවතත් විහාරයට පැමිණියේaය. ඇහැලේපොළ නිලමේ විසින් තල්පත කියවන විට එය නිවැරදිව කොටා ඇත්දැයි පරීක්‌ෂා කර බැලුවේ රජතුමා විසින්මය. අස්‌ගිරි මහානායක හිමියෝද එතැන වැඩ සිටියහ. ශිලා ලේඛනය කෙටූ ශිල්පීන් ගැන සතුටට පත් රජතුමා මහ අරමුදලෙන් ඔවුන්ට ගෙවීම් කරන ලෙසටද නියම කළේය" (GAZETTEER OF THE CENTRAL PROVINCE OF CEYLON ˙ A'C' LAWRIE පිටුව 74)

1859 දී මෙම විස්‌තරය කර ඇත්තේ අස්‌ගිරි විහාරවාසී හිමි නමක වූ බෝවල තෙරුන්නාන්සේ විසිනි. ඉන් කියවෙන්නේ 1801 දී පිළිමතලව්වේ මහ අදිකාරම විසින් අස්‌ගිරියේ විජයසුන්දරාරාමයේ කරවන ලද අලුත් විහාරයේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපන පින්කමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහභාගී වූ අවස්‌ථාව පිළිබඳවයි.

මෙම රජු කඩවසම් පුද්ගලයෙකු වූ බව ඔහුගේ හැඩරුව පිළිබඳව තොරතුරු දැක්‌වෙන විදේශීය වාර්තා අනුව පෙනී යයි. ඒවාට අනුව රජුගේ උස අඩි හයක්‌ පමණ වේ. ලොකු කලුවන් නෙත් සඟලකින් යුක්‌තය. ප්‍රසන්න මුහුණේ තිබූ ඔපකළ රැවුල නිසා ඇත්තේ තේජවන්ත පෙනුමකි. එසේම එතුමා ප්‍රාංශු දේහධාරීය. රජු පිළිබඳ මෙම විස්‌තරය පවසා ඇත්තේ ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත්වීමෙන් පසු එතුමාගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ හෙන්රි මාර්ෂල් විසිනි. (රසවාහිනී - 1966 පෙබරවාරි - පිටුව 110 ) ශ්‍රී වික්‍රමයන් රූපශ්‍රීයෙන් යුතු පුද්ගලයෙකු බව ජෝන් ඩොයිලිගේ ප්‍රකාශයකින් ද හෙළිවේ. ඔහු කියා ඇත්තේ රූපය හැරුණු විට කථා කරන්නට තරම් වෙනත් ගුණයක්‌ රජු සතුව නැති බවකි.

1798 දී ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් උඩරට සිංහාසනයට පත්වූයේ කන්නසාමි නම් වූ ආතක්‌ පාතක්‌ නැති නායක්‌කර් වංශික කුමාරයෙකු බව ඇතැම් මූලාශ්‍රවල සඳහන්ය. එහෙත් අස්‌ගිරියේ විජයසුන්දරාරාම ශිලා ලේඛනයෙහි ඔහු ගැන සඳහන් වන්නේ"-... කීර්ති ශ්‍රී රාජසිංහ දෙවි ස්‌වාමි දරුවාණන්ගේ භාගිනෙයවූ... ශ්‍රී වික්‍රම රාජසිංහ..." යනාදී වශයෙනි. භාගිනෙය යනු සොහොයුරියගේ පුතා හෙවත් බෑනාය. ඒ පිළිබඳව පැහැදිලි කිරීමට තරම් තොරතුරු නොමැති වුවත්, ඔහුගේ දෙමව්පියන් පිළිබඳව පැවසෙන ප්‍රසිද්ධ ජනප්‍රවාදයක්‌ පවතී. ඊට අනුව ඔහුගේ මව රාජාධි රාජසිංහ රජුගේ යකඩ දෝලියකි. නමින් ඇය සිරියම්මාල් වේ. රාජාධි රාජසිංහයන්ගේ ප්‍රියතම අන්තඃපුර කාන්තාව වූ ඇය සිය මව සමග මල්වත්ත මාලිගයෙහි වාසය කළාය. කන්නසාමිගේ පියා පිළිබඳව නම් කියෑවෙන්නේ විවිධ තොරතුරුය. ඒ සිරියම්මාල් දේවිය පිළිමතලව්වේ මහ අධිකාරම සමගද රහස්‌ සම්බන්ධතාවයක්‌ පැවැත්වීයයි කියෑවෙන හෙයිනි. මදුරාපුර රාජ වංශය නම් පැරණි විත්තිපොතේද මෙම සම්බන්ධය ගැන සඳහන් වෙතැයි සිංහල සාහිත්‍ය වංශයේ කියෑවෙන හෙයින් එය සත්‍යයක්‌ බැව් පැහැදිලිය. කුඩා කන්නසාමි කුමරුගේ හිසේ ගෑමට අවශ්‍ය තෙල් සිඳීම සඳහා රජු රන් තැඹිලි ගෙඩි පහක්‌ යවන විට පිළිමතලව්වේ රන් තැඹිලි ගෙඩි දහයක්‌ යෑව්වේලු. ("මධ්‍යම ලංකා පුරාවෘත්ත" නාවුල්ලේ ධම්මානන්ද හිමි, පිටුව 181)

පිළිමතලව්වේගේ සම්බන්ධය රජුට හසුවූයේ ඔහුගේ සැරයටියක්‌ මල්වත්ත මාලිගයේ තිබී හමුවීමෙනි. එහි නැවතත් නොයන ලෙසට අදිකාරමට නියෝග කළ රජු ඉන් නතර නොවී, අවේලාවේ පැමිණෙන්නෙකු වේ නම් ඔහු නසන ලෙස පවසා රාජකීය කඩුව කන්නසාමිට දුන්නේය. කන්නසාමි ලවා පිළිමතලව්වේ මැරවීමට රජු සැලසුම් කළත් සිදුවූයේ අනෙකකි. දිනක්‌ රාත්‍රියේ සුපුරුදු පරිදි රජු අසු පිටින් මල්වත්ත මාලිගයට පැමිණියේය. එම ශබ්දයෙන් අවදි වූ කන්නසාමි -...කව්දැයි... ඇසූවද, තිගැස්‌සීම නිසා රජුට පිළිතුරු දී ගත නොහැකි වූයෙන් රාජ නියෝගය ක්‍රියාත්මක වී සිය දිවි අහිමි විය. ඇතැම් තැනෙක සඳහන් වන්නේ පිළිමතලව්වේ විසින් කඩුවක්‌ ලබා දී මෙම ඝාතනය කරවූ බවකි. කෙසේ හෝ සිදු වූ දෙයින් ශෝකයටත්, බියටත් පත් වූ කන්නසාමි ඇතුළු පිරිස අස්‌වසා, රජුගේ මරණය හදිසි අනතුරෙකැයි සියල්ලන්ටම ඒත්තු ගන්වන්නට පිළිමතලව්වේට හැකි විය. උඩරට සිංහාසනය අයත් විය යුත්තේ තමන්ටයයි පිළිමතලව්වේ කල්පනා කළත්, රජවාසල අනෙකුත් රදළ පිරිස්‌ ඊට අකමැති වන බැව් දැන සිටි ඔහු කළේ සිය සිතැඟි පරිදි උඩරට රාජ්‍යය කරවන්නට උපායක්‌ යෙදීමයි. ඒ අනුව රජකම ලබා දුනහොත් තමන්ට කීකරුව රජකම් කරන්නේදැයි ඇසූ විට, කන්නසාමි ඊට කැමති වූයෙන් ඇත් ගොව්වන්ට අල්ලස්‌ දී ඇතු මෙහෙයවා ඔහු ඉදිරිපිට දණ ගස්‌වන්නට පිළිමතලව්වේ සමත් විය. කන්නසාමිගේ මතු නොව පිළිමතලව්වේගේත්, රටේත් ඉරණම තීන්දු වී තිබූ පරිදි කන්නසාමි උඩරට සිහසුනට පත්වූයේ ඒ අයුරිනි.

ශ්‍රී වික්‍රමයන් සිංහාසනාරූඪ වීමෙන් පසු පිළිමතලව්වේ තමන්ගේ පස මිතුරන් සංහාරය කිරීම ඇරඹුවේ ඔවුන් නව රජුට විපක්‌ෂ යෑයි පවසමිනි. ඊට හොඳම නිදසුන වන්නේ රාජාධිගේ දෙවන අධිකාරමව සිටි ඇරැව්වාවල නිලමේ ඝාතනය කිරීමයි. එය සිදු කරන ලදැයි කියවෙන්නේ 1799 දී පමණය. කන්ද උඩරටින් පිටුවහල් කිරීමට රජු විසින් නියම කළේ යයි ඇරැව්වාවල රවටා ගන්නොරුවට ගෙනගොස්‌ පිළිමතලව්වේ පාක්‌ෂිකයෝ ඔහුගේ හිස ගසා දැමූහ. තමාගේ ඝාතනය රජුගේ අණක්‌ නොව පිළිමතලව්වේගේ අවශ්‍යතාවට සිදුවන්නක්‌ බව ඇරැව්වාවල ප්‍රකාශ කළේයයි සඳහන් වන්නේ, 1800 දී ඉංග්‍රීසි තානාපති මැක්‌ඩෝවල් සමග උඩරටට ආ දූත පිරිසෙහි සිටි ජෝන් ඩි විල් නම් ප්‍රංශ ජාතිකයාගේ දින පොතෙහිය. ඇරැව්වාවල මරණයට අභීතව මුහුණ දුන් ආකාරය පිළිබඳව ඇසූ ජෝන් ඩි විල් විසින් ඔහුගේ හිස්‌ කබල එල්ලා තිබූ ගස මුල ස්‌මාරකයක්‌ ලෙස ගලක්‌ තැන්පත් කළ බවද ලියා ඇත.

පිළිමතලව්වේගේ බලය කොතරම්දැයි කිවහොත්, ඔහු රජුට එරෙහිව ප්‍රසිද්ධියේ පෙරළි කරන තුරුම ඇරැව්වාවල ඝාතනය පිළිබඳව රජු දැනුවත් කිරීමට සමත් වූවෙක්‌ රාජ සභාවේ සිටියේ නැත. එම සිද්ධිය දැන ගත් විට රජු පවසා ඇත්තේ.. මහ නිළමේ කෙනෙකුට අනිකෙකු හිස ගසා දමා මැරවිය හැකි නම්, මටද අදිකාරම් කෙනෙකු හිස ගසා දමා මැරවිය හැකිය... යනුවෙනිs. (ලෝරි - පිටුව 227 ) උඩරට පිළිගත් නීතිය අනුව උසස්‌ පවුල්වල අයට ශාරීරික වද හිංසා පැමිණවීමේ බලයක්‌ අදිකාරම්වරුන් සතු වූයේ නැත.

රජු ජනතා අප්‍රසාදයට ලක්‌ කිරීමද පිළිමතලව්වේගේ සැලසුමේ එක්‌ අංගයක්‌ විය. ඔහු ඒ සඳහා උපක්‍රමිකව කටයුතු කළේය. රඹුක්‌වැල්ලේ රතනජෝති හිමියන්හට කෙවුල්ගම විහාරය පවරමින් රාජාධිරාජසිංහයන් විසින් දෙනු ලැබූ සන්නස, මැණික්‌දිවෙල උන්නාන්සේ නම් යටිනුවර හිමි නමකට පැවරීම එක්‌ අවස්‌ථාවකි. එහෙත් රඹුක්‌වැල්ලේ වෙඩික්‌කාර ලේකම් විසින් එම අයුක්‌තිය පිළිබඳව රජු දැනුවත් කළ හෙයින්, පිළිමතලව්වේගේ අරමුණ ඉටු නොවීය. එහෙත් රජු කළ තර්ජනයෙන් ඔහු අතිශයින් බියට පත්වූ බව කියවේ. (ලෝරි - පිටුව 457)

පිළිමතලව්වේ ඊළඟට උත්සාහ කළේ රජවීම සඳහා ඉංග්‍රීසීන්ගේ ආධාර උපකාර ලබා ගැනීමටය. 1798 මැද භාගයේදී රජවූ ශ්‍රී වික්‍රමයන්හට සිහසුනේ හරිහැටි හිඳ ගැනීමටවත් කාල වේලාවක්‌ නොලැබිණි. 1799 පෙබරවාරියේදීම පිළිමතලව්වේ ගල්මුල්වල එල්ලී කඩුගන්නාවේ හෙළ බැස්‌සේ, කොළඹට ගොස්‌ -ෙµඩ්රික්‌ නෝර්ත් ආණ්‌ඩුකාරතැන හමුවී රජු මරා තමන්ට රජවීමට ආධාර ඉල්ලීමටයි. එහෙත් සීතාවකින් එම ගමන නතරවූයේ ඒ වන විට කොළඹ වසූරිය පැතිරී තිබුණු හෙයිනිs. නෝර්ත් ආණ්‌ඩුකාරතැනද, පිළිමතලව්වේ කොළඹ එනවාට අකමැති වී සීතාවකට පැමිණියේ, පිළිමතලව්වේ ඇතුළු පිරිස කොළඹට පැමිණිය හොත් ඔවුනට සංග්‍රහ කිරීමට සිදුවීමෙන් ගබඩාවල තිබූ සහල් ටික ඉවර වේයයි බියෙනි. පිළිමතලව්වේ විසින් තෙවරක්‌ ඉංග්‍රීසි නියෝරජිතයන් හමුවූ අතර ඒ සෑම අවස්‌ථාවකදීම පවසා ඇත්තේ, කුඩා කල සිටම තමන් නායක්‌කර් වංශිකයන්හට වෛර කරන බවත්, එබැවින් රූකඩ රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ ඝාතනය කොට තමාට සිංහාසනාරූඪ වීමට උපකාර කරන ලෙසත්ය. එසේ වුවහොත් ඉංග්‍රීසීන්ට රට පවරා දිය හැකි බවද ඔහු පවසා ඇත. ෙµඩ්රික්‌ නෝර්ත් ආණ්‌ඩුකාර තැන මෙම යෝජනාව සෘජුවම ප්‍රතික්‌ෂේප කළ බව කියවේ.

පිළිමතලව්වේ මහ අදිකාරම ඉංග්‍රීසීන් හා සාකච්ඡාවලදී පවසා ඇත්තේ රජුට හොරෙන් කොළඹ සිට උඩරට හරහා ත්‍රිකුණාමලයට පාරක්‌ කපන ලෙසටය. එය කළ නොහැකි බව පැවසූ ඉංග්‍රීසීන්, 1800 දී මැක්‌ඩෝවල් තානාපති තැන උඩරටට යවන්නේ රජු හා ඇති කර ගැනීමට බලාපොරොත්තු වන ගිවිසුමට ත්‍රිකුණාමලයට පාර තැනීම පිළිබඳ අදහසද ඇතුළත් කරමිනි. රාජ සභාවේදී තානාපති විසින් ගිවිසුම විස්‌තර කරන විට රජු කළේ තමන් ඇඳ පැළඳ සිටි ඇඳුම් ආයිත්තම් හා මැණික්‌ ආදිය, ඉහවහා ගිය මාන්නයකින් යුතුව දූත පිරිසට ප්‍රදර්ශනය කිරීම බව ඡේම්ස්‌ කෝඩිනර් පවසයි.

''A DESCRIPTION OF CEYLON'' (පරිවර්තනය ( "ලංකාව ගැන වර්ණනාවක්‌" නිශ්ශංක පෙරේරා - පිටුව 655 )

රාජ්‍යතාන්ත්‍රිකමය අවස්‌ථාවකට අනුචිත අයුරින් මෝඩයෙකු සේ රජු හැසිරුණු නිසා සිය ගිවිසුමද හකුළා ගෙන ආපසු කඩුගන්නාව හෙළ බසින්නට මැක්‌ඩෝවල් දූත පිරිසට සිදුවිය. මහ අදිකාරමගේ කුමන්ත්‍රණ ගැන මේ වන විට රජුද දැන සිටි හෙයින් ඔහුගේ අනුදැනුමද ඇතිව පැමිණි දූත පිරිස මගහැරීමට රජුට අවශ්‍ය වූ නිසා, ඒ අයුරින් හැසුරුනා වන්නටද පුළුවන. එසේ කියන්නේ ටික දිනක්‌ ගතවීමෙන් පසු ගිවිසුමක්‌ ඇතිකර ගැනීම ගැන දන්වා, රජු විසින් ලෙව්කේ දිසාව ලවා කොළඹට ලියුම් ලියවූ බවක්‌ සඳහන්වන හෙයිනිs. රජුට අවශ්‍ය වූයේ අතීතයේ දී ලන්දේසීන් හා උඩරට අතර පැවති ආකාරයේ ගිවිසුමක්‌ ඇති කර ගැනීමට බව කියවේ.

මැක්‌ඩෝවල්ගේ දූත ගමන අසාර්ථක වූයෙන් පිළිමතලව්වේට අළුත් සැලසුමක්‌ ගැන සිතන්නට සිදු විය. ඉංග්‍රීසි ප්‍රදේශවල සිට උඩරට රාජ්‍යයට පැමිණි මුස්‌ලිම් වෙළඳුන් හැත්තෑ එක්‌ දෙනෙකු අල්ලා ඔවුන්ගේ දේපළ කොල්ල කෑමත්, තාඩන පීඩන කිරීමත්, පිළිමතලව්වේ සිදු කළේ ඉන් පසුවය. ඒවා රජුගේ ගිණුමට බැර කිරීම තුළින් උඩරටට ඉංග්‍රීසීන්ගෙන් ප්‍රහාරයක්‌ එල්ල කරවා ගැනීම ඔහුගේ අභිලාෂය විය. ඒ අතරම නෝර්ත් අත්අඩංගුවට ගැනීමටද ඔහු උපක්‍රම යෙදුවේය. මෙම කූටෝපක්‍රම පිළිබඳව දැන සිටි නෝර්ත් 1803 දී උඩරට ආක්‍රමණය කළ හමුදාවන්ට උපදෙස්‌ දුන්නේ, රජුගේ ජීවිතයට හානි වන ආකාරයේ කිසිම දෙයක්‌ නොකරන ලෙසට බව ඡේම්ස්‌ කෝඩිනර් සඳහන් කරයි.

1803 ආක්‍රමණය ඉංග්‍රීසීන්ට මුළුමනින්ම වැරදුණු අවස්‌ථාවක්‌ විය. වාගොල්ලේ සටන නමින් හැඳින්වෙන මෙම සටනේදී සිංහල හමුදා ඉංග්‍රීසි හේවායනට කළ කී දෑ වැලිගල මුදලිඳු නම් කවියා විසින් "ඉංග්‍රීසි හටන" නම් කවි පොතෙහි විස්‌තර කර ඇත්තේ...

උලා දණින් හම යන තුරු ඇද ඇද පඳුරක්‌ පාසා

විලාප කියමින් හඬවා උන්ගේ ඉංග්‍රිසි බාසා

රිලා මොටුන් ලෙස පෙරළා ගෙන කපමින් කන් නාසා

තලා මුගුරු ගෙන ඇට බිඳ හරිමින් යුදයෙහි ආසා

ආදී වශයෙනි. (සාහිත්‍යය ෙත්‍රෙමාසික සඟරාව 1966 පිටුව 130)

මෙම ග්‍රන්ථයේදී ශ්‍රී වික්‍රම රාජසිංහයන්ව ශක්‍ර දේවේන්ද්‍රයන්ට සම කරන වැලිගල කවියා පිළිමතලව්වේ හඳුන්වා ඇත්තේ සීතාවකට ගොස්‌ කුමන්ත්‍රණය කළ අනුවණයෙකු වශයෙනි.

පිළිමතලව්වේගේ කෙළවරක්‌ නැති කුමන්ත්‍රණවලින්a කෝපයට පත් රජු පෙළඹෙන්නේ ඔහු ඇතුළු රදළයන්ගේ බලතල කප්පාදු කිරීමටය. ඒ අනුව සත් කෝරළය හා ඌව සබරගමුව යන පළාත් දෙකට කඩා එකිනෙකා හා අමනාප පුද්ගලයන්හට ඒවායේ දිසා පදවි පැවරුවේය. එතරම් වැදගත් පවුලක්‌ ලෙස නොසැලකුණු මොල්ලිගොඩ පවුලට තනතුරු ප්‍රදානය කළේය. උඩ ගම්පහේ හා පල්ලෙ ගම්පහේ අදිකාරම් තනතුරු දෙක හැරුණු විට සියපත්තුවේ අදිකාරම යනුවෙන් අළුත් තනතුරක්‌ ඇති කළේය. එසේම තනතුරු ඉඩකඩම් ආදී වරප්‍රසාද දෙමින් සිය නායක්‌කර් වංශික ඥාතීන් බල ගැන්වූවේය.

මෙම පියවරවලට එරෙහි වූ පිළිමතලව්වේ ඇතුළු පිරිසගේ කෝපය පුපුරා ගිය අවස්‌ථාවක්‌ ලෙස දැක්‌විය හැක්‌කේ 1808 දී රජුට එරෙහිව සත් කෝරළයේ ඇති වූ කැරැල්ලයි. ඊට පිළිමතලව්වේගේ තිබූ සම්බන්ධය ජෝන් ඩොයිලි ගේ දිනපොතෙන් හෙළි වන අතර, රජුද එය දැන නොසිටින්නට ක්‍රමයක්‌ නැත. රාජෙද්‍රෝහීවීම සම්බන්ධයෙන් පිළිමතලව්වේට දැඩි දඬුවම් දීමට අවකාශ තිබුණත්, ඉක්‌මන්වීමට තරම් රජු මෝඩයෙක්‌ නොවීය. අනෙක්‌ අතට රජු ඒ අවස්‌ථාවේ ක්‍රියාමාර්ගයක්‌ නොගත්තේ, පිළිමතලව්වේට යම් දඬුවමක්‌ දුන්නොත් උඩුනුවර හා යටිනුවර ජනතාව තමන්ට එරෙහි වෙතැයි යන බිය නිසාද වන්නට පුළුවන. මේ වන විට පිළිමතලව්වේ රජු කෙරෙහි කොපමණ වෛරයකින් පසුවූවේදැයි කිවහොත්, රජුව හඳුන්වා ඇත්තේ "අවජාතක අහංකාර මන්දබුද්ධිකයා" යනුවෙනි.

පිළිමතලව්වේගේ කුමන්ත්‍රණ පිළිබඳව කෝපයෙන් දැවෙමින් සිටි රජුට නියම අවස්‌ථාව උදාවූයේ කීර්ති ශ්‍රී ගේ මිණිබිරියක්‌ සිය පුතුට විවාහ කර දීමට පිළිමතලව්වේ ගෙනා යෝජනාවෙනි. රජ පවුලට නෑකම් කීමට ඔහු දැරූ ප්‍රයත්නය පිළිකෙව් කළ රජු වහාම මහ නඩුව කැඳවා තමන්ගේ නමින්ද, එසේ නැතිවද පිළිමතලව්වේ කළ අපරාධ පිළිබඳ තමන් දැන සිටි සියලුම තොරතුරු ඉදිරිපත් කළේය. නඩු විභාගයෙන් ඔහු වරදකරු වූවෙන් දඟගෙට නියම කෙරිණි. කිසියම් හේතුවක්‌ නිසා ටික දිනකින් ඔහු නිදහස්‌ කොට ඊළඟ නියෝගය නිකුත් කෙරිණි. ඒ උඩුනුවර ඔහුගේ ගමට යන ලෙසටය. ඉන් පෙනී යන්නේ අවශ්‍ය නම් සිය ජීවිතය රැක ගැනීමේ ඉඩ ප්‍ර්‍රස්‌ථාව රජු ඔහුට ප්‍රදානය කළ බවයි. ආපසු උඩුනුවරට ගොස්‌ සාමාන්‍ය වැසියෙකු ලෙස ජීවත්වීම තම ඉරණම නොවේයයි කල්පනා කළ පිළිමතලව්වේ මහ වාසලෙහි සේවය කළ ජා මුහන්දිරම් කෙනෙකු ලවා රජු මැරවීමට සැලසුම් කළේය. රජුගේ මරණයත් සමගම උඩුනුවර හා යටිනුවර වාසීන් කැරැල්ලක්‌ දියත් කළ යුතු වීමද සැලසුමේ කොටසක්‌ විය. රෑ මැදියමේ සිරියහන් ගබඩාවට ගිය ජා මුහන්දිරම් දුටුවේ රජු අවදිව සිටින බවකි. ඔහු බියෙන් ත්‍රස්‌තව පළා ගියෙන් රජුගේ දිවි රැකිණි. මේ බව නොදත් දෙනුවර වැස්‌සෝ කැරළි ගැසූහ. අවසානය සිදුවිය යුතු පරිද්දෙන්ම සිsදු විය. පිළිමතලව්වේත්, ඔහුගේ බෑණා වූ රත්වත්තේත් හිස ගසා මරා දැමුණු අතර, පුත්‍රයාටද මරණ දඬුවම නියම වුවත්, එය ලිහිල් කොට හේවාහැට සිර කෙරිණි. අවශ්‍ය වීනම් මෙම අවස්‌ථාවේදී පිළිමතලව්වේ පරපුරම මුළිනුපුටා දැමීමේ හැකියාව රජුට තිබුණත් ඔහු එසේ කළේ නැත. තවත් සත් දෙනෙකු ඇතුන්a ලවා පාගා මැරවීයයිද කියවේ. පිළිමතලව්වේගේ ඝාතනයෙන් සරොස්‌ වූ දෙනුවර ජනතාව රජුට චෝදනා කළේ, රජු සිය පියා මැරවීයයි කියමිනි.

සිහසුනේ සිටි අවදියේදී ශ්‍රී වික්‍රමයන්ගේ මානසික තත්වය කෙසේවීදැයි යන්න පිළිබඳව අවබෝධයක්‌ ලැබිය හැක්‌කේ, වෛද්‍ය හෙන්රි මාර්ෂල්ට ඔහු කර ඇති ප්‍රකාශයකිනි. රජු කියා ඇත්තේ ඇතුළතින් හා පිටතින් පැමිණෙන කුමන්ත්‍රණ පිළිබඳව බියෙන් සිටි හෙයින්, යහන් ගතවුවද කිසිම අවස්‌ථාවක සුව නින්දක්‌ තමාට නොලැබුණු බවයි. නිදි යහනේදී ඝාතනයට ලක්‌වනු ඇතැයි සැකයෙන් සිටීම ඊට හේතුවයි. තමන් හොඳින් නිදා ගත්තේ ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් පසුව යයි රජු තව දුරටත් පවසා ඇත. රජකම මතු නොව ජීවිතයද රැක ගැනීමට සටන් කිරීමට සිදුවීමෙන් රජු කෲරතම පාලකයෙකු වූ බව මේ අනුව පැහැදිලි වේ.

මෙවන් මානසිකත්වයකින් යුතුව රජු විසින් සිදු කළ කුරිරු ඝාතන රැසකි. මාම්පිටිය ලොකු බණ්‌ඩාර, පරණාතල හිමි, ඇහැලේපොල පවුලේ සාමාජිකයන් ආදීන් ඝාතනය කිරීම අද පවා රජුට එරෙහිව නැගෙන චෝදනාවන්ය. මේවා පිළිබඳව විමසා බලන විට රජුට පමණක්‌ වගකීම පැවරීම සාධාරණදැයි සැකයක්‌ ඇතිවේ. මාම්පිටියේ යනු කීර්ති ශ්‍රී රාජසිංහයන්ගේ හා මාම්පිටිය දුග්ගන්නා උන්නාන්සේගේ (යකඩ දෝලිය) පුත්‍රයෙකි. සිය නැඟණියක සමගින් පවත්වා ගත් අයුතු සම්බන්ධයක්‌ පිළිබඳව ආරංචි වූ විට, රජු පවසා ඇත්තේ රාජවංශයට ගැලපුණද රටේ සිරිතට නොගැලපෙන දෑ නොකරන ලෙසටය. අනතුරුව කොණ්‌ඩදෙණියේ ජීවත් වූ මාම්පිටියේව ඔහුගේ ගමවූ මාම්පිටියට පිටුවහල් කළේ කොණ්‌ඩදෙනියේ දේපළද රාජසන්තක කරමිනි. එම දඬුවම දී සුළු කාලයකින් නැවතත් ඔහු මහනුවරට කැඳවූ රජු දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයද පැවරුවේය. එහෙත් රජු දැක්‌වූ සුහදත්වයට මාම්පිටියේ ගරුසරු නොකළේ පිළිමතලව්වේ ගිය මගම යමිනි. ඇහැලේපොල සබරගමුවට වී පෙරළි කරමින් සිටියේ එම වකවානුවේදීය. මාම්පිටියේ සිය ඥාතියෙකු වූ ඇල්ලේපොල නිලමේ හා එක්‌ව, ඇහැලේපොල සමගින් රහසින් ලිපි හුවමාරු කරන බව රජුට ආරංචි විය. ඒ අතරේම අරාවේ මඩුවේ ලේකම්ගේ නායකත්වයෙන් උඩුනුවර වැසියන් කැරැල්ලක්‌ දියත් කළේ, මාම්පිටියේ සිහසුනට පත් කර ගැනීමේ අරමුණෙනි. මාම්පිටියේට පමණක්‌ නොව ඇල්ලේපොලටද මරණ දණ්‌ඩනය නියම වුවත්, රජු විසින් ඇල්ලේපොලගේ දඬුවම ලිහිල් කොට ඔහු ගැටඹේ වෙල්අත්තේ අටුවේ සිරකර තබා, මාම්පිටියේ බණ්‌ඩාර ගැටඹේ හුණු කොටුවේදී කෑලිවලට කපා ඝාතනය කරවූයේ 1812 දීය.

පරණාතල හිමියන් යනු මොරතොට ධම්මක්‌ඛන්ධ හිමියන්ගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයාය. අන්තඃපුර කාන්තාවක්‌ සමගින් අනිසි සම්බන්ධයක්‌ පැවැත් වූයේය යන්න එම හිමියන්හට එල්ල වූ චෝදනාවයි. දෙවරක්‌ නොසිතාම මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක විණිs. එහෙත් එම චෝදනාව අසත්‍ය බවත්, නායකත්වය සම්බන්ධයෙන් භික්‌ෂූන් වහන්සේලා අතර ඇතිවූ කුමන්ත්‍රණයක අවසාන ප්‍රතිඵලය එය වූ බවත් පැවසේ. "හයගිරි විහාරයේ නිවේදනයක්‌"යනුවෙන් මධ්‍යම ලංකා පුරාවෘත්ත ග්‍රන්ථයට ඇතුළත් කර ඇති ලිපියකින් එය සනාථ වේ. (පිටුව 220 )

ඇහැලේපොල දරු පවුල ඝාතනය කිරීම අහස පොළොව නොඋසුලන අපරාධයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත. එහි වගකීම රජු මෙන්ම ඇහැලේපොලත් රජුට උපදෙස්‌ දුන් පුස්‌සැල්ලේ මහ ගබඩා නිළමේ වැනි නිළමක්‌කාරයනුත් අතර සමව බෙදී යා යුතුවේ. රජුගේ පාර්ශ්වයෙන් බලන විට ඇහැලේපොලට දඬුවම් දීමට, අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හේතු රජුට තිබිණි. ඇලපාතගේ මරාල බද්දෙන් කොටසක්‌ සඟවා ගැනීමේ චෝදනාව ඇතුළුව ඔහුට එරෙහිව තිබූ කරුණු විභාග කිරීම සඳහා ඇහැලේපොල මහනුවරට කැඳෙව්වද, කිසිම දඬුවමක්‌ නොදී ආපසු සබරගමුවට යැමට රජු ඔහුට ඉඩ දුන්නේය. එහෙත් ඇපයට ඇහැලේපොල දරු පවුල මහනුවර නවත්වා ගත් බව පෙනී යයි. පිළිමතලව්වේ හා මාම්පිටිය මෙන්ම ඇහැලේපොලද රජුගේ හිත හොඳකම නිවට කමක්‌ ලෙස සැලකුවා වැන්න. දරු පවුලේ ජීවිත අවදානම පිළිබඳව හෝ මදකුදු නොතැකූ ඔහු සුපුරුදු ලෙසම රාජෙද්‍රෝහී ක්‍රියාවල යෙදුණෙන්, මොල්ලිගොඩ අදිකාරමට රජු අණ කළේ ඇහැලේපොල අල්ලා ගෙන එන ලෙසය. මෙම නියෝගය ආරංචි වූ විට ඇහැලේපොල ඉංග්‍රීසීන් වෙතට 1814 දී පළා ගියේය. ඔහුගේ අභිලාෂය වූයේද ඉංග්‍රීසීන්ගේ පිහිටෙන් උඩරට කිරුළ පැළඳීමය.

වෛරයෙන් උමතු වූ රජුගේ අතපොවන මානයේ සිටියේ ඇහැලේපොල දරු පවුලය. ඔවුනට සිදු කළ සාහසික අපරාධය තැඹිලිපොලේ කිවිඳු නමැත්තෙකු විසින් ලියන ලද -පෙරලි හටන නම් කවිපොතේ විස්‌තර කරන්නේ

...කඩා කවව් අඬුවෙන් මස්‌ උන්නේ

අඬා විලාපෙන් ඔළු කොටවන්නේ

කඩා ඉසුනි ලේ මූණට උන්නේ

අඬා බිසව් දෙරණත වැළපෙන්නේ ...

යනාදී වශයෙනි. රජු මේ විපත සිදුකර ඇත්තේ අධික ලෙස මත්පැන් පානය කර සිටි අවස්‌ථාවක දී යෑයි අසන්නට ලැබේ. නින්ද නොයැමේ රෝගයෙන් පෙළුණු රජුට ඊට ගැලපෙන ඖෂධයක්‌ ලෙස වයින් පානය පුරුදු කළේ පුස්‌සැල්ලේ මහ ගබඩා නිළමේ බව සඳහන්ය. එසේම රාජෙද්‍රෝහීන්ගේ පවුල්වලට පෙර සිරිත් පරිදි දෙන ලද දඬුවම් පිළිබඳව විස්‌තර සපයා ඇත්තේද ඔහුය. එම උපදෙස්‌ නිසා මහත් විනාශයක්‌ සිදු වූ බව වටහා ගත් රජු, පසුව පුස්‌සැල්ලේවද ඝාතනය කළේ මුලින් අත් පා ගලවා වද විඳින්නට සලස්‌වා ඉන් පසුව හිස ගසා දැමීමෙනි.

රජුගේ කුරිරු ඝාතන රැල්ල ආරම්භ වී ඇත්තේ 1811 සිටය. ඊට පෙර පිළිමතලව්වේ සමග ගැටෙමින් වුවද, මහනුවර අළුත් වැව හෙවත් කිරි මුහුද තැනවීම, මාළිගාවේ වාහල්කඩ හා පත්තිරිප්පුව තැනවීම, කුමරුප්ප වීදියේ සිට තල්වත්ත දක්‌වා දිය අගලක්‌ කැප්පවීම, කුණ්‌ඩසාලේ මාලිගාවක්‌ කරවීම ආදී ව්‍යාපෘති රැසක්‌ රජු අරඹා තිබිණි. වැව බැඳීම සඳහා යොදා ගෙන ඇත්තේ සත් කෝරළයේ මිනිසුන්වය. ඒ රාජකාරි ක්‍රමය යටතේය. මේ නිසා සත් කෝරළ ජනතාව අතර රජු අප්‍රසාදයට පත්විනැයි කියෑවේ. ඉංග්‍රීසි ආණ්‌ඩුකාරවරයෙකු වූ -විලියම් ග්‍රෙගරි පවසා ඇත්තේ රජුගේ රසඥතාව, වැව ඉදිකිරීමෙන් ප්‍රකට වන බවයි. එහි මැද ඇති දූපතෙහි කුණ්‌ඩශාලාවක්‌ද ඉදිකර, එහි යාම සඳහා හැකිලිය හැකි පාලමක්‌ද තනා තිබූ බව සඳහන්ය.

මේ සියලුම ව්‍යාපෘති රජු සඳහාම විය. රජකම් කළ කාලය තුළදී මහජනතාව වෙනුවෙන් ඔහු කිසිදු දෙයක්‌ නොකළේද යන ගැටලුව මෙහිදී ඇතිවේ. ඩොයිලිගේ දිනපොතෙන් පෙනෙන්නේ, නවීන ආර්ථික විද්‍යානුකූලවම අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල පාලනයක්‌ ක්‍රියාත්මක කිරීමට රජු කටයුතු කළ බවයි. ඒ අනුව වී පෑලක මිල පයිසා දාසයකට හෙවත් මස්‌සකට නියම වූ අතර, පොල් ගෙඩියක්‌ සල්ලියකටත්, ලුණු සේරුවක්‌ පයිසා එකකටත් නියමකර ඇත. වීවල පාලන මිල ස්‌ථාවරව පවත්වා ගැනීම සඳහා රජුගේ බණ්‌ඩාර අටුවල වී ද, වී අටු දෙකක්‌ අයිති පුද්ගලයන්ගේ එක්‌ අටුවක වී ද පාලන මිලට අලෙවි කළ යුතු යයි නියෝග කොට ඇත. (THE DIARY OF MR: JOHN DOYLY - පිටුව 115) එපමණක්‌ නොව උඩරැටියන් අතර මත්පැන් පානය වැනි දුරාචාර පැතිරෙන බව දුටු රජු එයද, සත්ව ඝාතනයද තහනම් කරමින් නීති පැනවීය. මෙම තොරතුරු වලින් පෙනී යන්නේ පිළිමතලව්වේ ඇතුළු පිරිසගේ රාජෙද්‍රෝහී ක්‍රියා නොවී නම් ජනහිතකාමී පාලකයෙකු වීමට ශ්‍රී වික්‍රමයන් හට අවස්‌ථාව මෙන්ම වුවමනාවද තිබුණු බවයි.

එහෙත් රජුට සිදුවූයේ ඒ සියල්ල අමතක කොට ජීවිතය රැක ගැනීමේ සටනක යෙදෙන්නටය. ඩොයිලිගේ දිනපොතෙහි 1811 ජනවාරි 25 දින සටහන අනුව ශ්‍රී වික්‍රම රාජසිංහයන්හට දියණියකද සිට ඇති අතර ඇයද, රජුගේ කිරි අම්මාද සතියක්‌ තුළ මියගොස්‌ ඇත. ඒ හැරුණු විට සුළු කාලයක්‌ තුළදී රජ වාසලට සම්බන්ධ මියගියවුන්ගේ සංඛ්‍යාව තිහක්‌ පමණ වන බව කියෑවේ. මාලිගයෙහි යක්‌ෂ දෝෂයක්‌ පවතින බවත්, නිරන්තරයෙන් ජනෙල් දොරවල් ඇරෙන වැහෙන අතර විවිධාකාර ශබ්ද ඇසෙන බවත් ඩොයිලිට සිය ඔත්තුකරුවන්ගෙන් ආරංචි වී ඇත. ඒ නිසාම රජු කුණ්‌ඩසාලේ මාලිගාවට පදිංචියට ගොස්‌ ඇති බවද ඔහු සඳහන් කරයි. උඩරැටියන්ගේ අංගම් හදි හූනියම් වලටද රජුට මුහුණදීමට සිදු වී ඇති සෙයක්‌ මෙම තොරතුරුවලින් පෙනී යයි.

පිළිමතලව්වේ විසින් රජු අහංකාර මන්දබුද්ධිකයෙකු ලෙස හැඳින්වුවද, කොන්වෝලිස්‌ නැවේ එතුමා භාරව ඉන්දියාවට යාත්‍රා කළ -විලියම් ග්‍රැන්විල් පවසා ඇත්තේ, අන් අයගේ චරිතයන් විනිවිද දැකිය හැකි තරම් වූ ඥාන ශක්‌තියක්‌ රජුට තිබූ බවකිs. තමා ඉතා වැදගත් කෙනෙකු යයි සිත තුළ වැඩුණු ගර්වයක්‌ කුඩා කල සිට තිබූ හෙයින්, එම ගර්වය මැඬලීමේ හැකියාවක්‌ රජුගේ විරුද්ධවාදීන්ට නොතිබුණු බවත් ඔහු පවසා ඇත. එසේම තමන් දැක පුරුදු දන්නා දේ ගැන මිස සිය නොදැනුqවත්කම පළ කෙරෙන කිසිම දෙයක්‌ ගැන එතුමා කථා නොකළ බවත්, කටවැරැද්දකින් හෝ නොදැනුවත්කම පළ කෙරෙන යමක්‌ කියවිනි නම්, වෙනත් කරුණු කාරණාවලින් එය යටපත් කර දැමීමට රජු අති දක්‌ෂ බවත් -ග්‍රැන්විල් තව දුරටත් පවසයි.

1815 පෙබරවාරි 18 දින රජු අත්අඩංගුවට ගන්නා විට රජුට බිසෝවරුන් සතර දෙනෙකු සිටි බවත්, දෙදෙනෙක්‌ රජු සමගද, ඉතිරි දෙදෙනා රජුගේ මව සමගින් උඩ දුම්බර හංවැල්ලේද සිටි බවත් ඩොයිලිගේ දින පොත පවසයි. රටේ සිරිතට නොගැලපෙන දේ නොකරන්නැයි මාම්පිටියට නියෝග දුන් රජු එම සිරිත් උල්ලංඝනය කරමින් 1813 දී අවසන් වරට විවාහ කර ගෙන ඇත්තේ වැඩිවිය නොපත් දැරියන් දෙදෙනෙකි. කෙසේ වුවද මෙම බිසෝවරු සතර දෙනාට මෙන්ම මවටද රජු මහත් ආදර ගෞරවයක්‌ දැක්‌වූ බව 1815 පෙබරවාරි 22 දින සටහනෙන් හෙළිවේ. එහිදී ඩොයිලි ලියා ඇත්තේ රජු එම කාන්තාවන් පස්‌දෙනාගේ අත් රැගෙන ඩොයිලිගේ දෑතෙහි තබා ඔවුන්ගේ මතු ආරක්‌ෂාව ඔහුට පැවරූ බවයි. රජුට කිසියම් කරදරයක්‌ ඉංග්‍රීසීන්ගෙන් සිදුවනු ඇතැයි බියවූ මව, රජු අත්අඩංගුවට ගත් බව දැනගත් මොහොතේ සිට ඒ වන තුරුත් සිටියේ හැඬූ කඳුලින් බවද ඩොයිලි සටහන් කර ඇත.

ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණය සැලවූ වහා පළා ගිය රජු සැඟවී සිටියේ මැද මහනුවර බෝමුරේ අප්පුහාමි ආරච්චිරාළගේ ගෙදරය. තෙල්දෙණියේ හංවැල්ල ගමේ වෙල්යායේදී අල්ලා ගත් කොලු ගැටයකු මගින් රජු සැඟවී සිටි තැන සොයා ගත් බව ලියා තිබෙන්නේ ඉංග්‍රීසී යුධ හමුදාවේ භාෂා පරිවර්තක තැන වූ ඩී.වී.ඒ. දියෙස්‌ විසිනි. එම ලිපියේ සඳහන් වන පරිදි වැල් පටකින් බැඳි කොලුවා ඉස්‌සර කර ගෙන එක්‌නැළිගොඩ ඇතුළු සබරගමුවේ මිනිසුන් යන විට, මෙම භාෂා පරිවර්තක තැනද ඔවුන් සමගින් ගොස්‌ ඇත. රජු සිටින්නේයයි කොලුවා පෙන්වූ ගෙදරට එක්‌නැළිගොඩ සෙනඟත් සමගින් ගොඩ වැදුණි. සැතපෙන ගෙයි අප්පුහාමි කෙනෙක්‌ ඔහු දැක ලන්සයකින් ඇන්නේය. එවිට සබරගමුවේ මිනිසුන් අප්පුහාමි අල්ලා උඩ දැමූ අතර, ඔහුගේ සිරුරට කුමක්‌ වීදැයි තමන් නොදුටු බව භාෂා පරිවර්තකතැන තව දුරටත් ලියා ඇත. බලහත්කාරයෙන් එළියට ගත් රජුට එක්‌නැළිගොඩ සැලකූ ආකාරය පිළිබඳව පිළිකුලෙන් විස්‌තර කර ඇති දියෙස්‌, එසේ කටයුතු කිරීම නොහොබිනා බව ඔහුට පැවසූ විට -...ඔතන කීම ගන්ට අපි මෙහෙ ආවා නොවේය... කියා තමන්ට සැරෙන් පැවසූ බවද ලියා ඇත. සිරකරුවෙකු ලෙස රැගෙන යාමට සූදානම් වන විට, රජු විසින් බෝමුරේ ආරච්චිරාළට කෘතඥතාව පළ කර ඇත්තේ කඳුළු පිරි දෙනෙතිනැයි කියවේ. මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ රජු විසින් සිය ආරක්‌ෂාව බෝමුරේ ආරච්චිරාළ වැනි සුළු මුලාදෑනියෙකුට පැවරීම පිළිබඳවයි. ඉහළ තනතුරු දැරූ රදළයනට රජු එපා වූවද, සුළු නිලධාරීන් විසින් රජු ආරක්‌ෂා කළ බව මින් පැහැදිළිය. එසේම ශ්‍රී වික්‍රම රාජසිංහයන් සාමාන්‍ය මිනිසුන්ගෙන් දුරස්‌ථ වූ පුද්ගලයෙකුද නොවේ. එය ප්‍රකට කෙරෙන සිදුවීමක්‌ ලෝරි සිය කෘතියෙහි දක්‌වා ඇත. කිසියම් වරදක්‌ කළ නිසා උඩුදුම්බර ගමක්‌ම රජු විසින් තරාතිරමෙන් පහත හෙළුවේ, ඉර හඳ පවතිනා තුරු එසේ තිබිය යුතු යයි ගලකද කොටවමිනි. එහෙත් ඉංග්‍රීසි ආක්‍රමණයට මාස අටකට පමණ පෙර දිනෙක සිය ගම හරහා මැද මහනුවරට යාමට රජු එන බව ගම්මුන්ට ආරංචි විය. ඔව්හු දැකුම්ද රැගෙන රජු හමුවට ගොස්‌ සිය දුක්‌ ගැනවිල්ල ඉදිරිපත් කළහ. එය අසා සිටි රජු ඔවුන්ගේ දැකුම් පිළිගෙන නැවතත් තරාතිරම ඉහළ දමා ඇත.

ඩොයිලිගේ දිනපොතට අනුවත්, දියෙස්‌ගේ ලියවිල්ල අනුවත් එක්‌නැළිගොඩලාගෙන් බේරා ගත් රජු හා පිරිස, ඉංග්‍රීසින් විසින් මැද මහනුවර සිට කැඳවා ගෙන පැමිණ ඇත්තේ ගෞරව බහුමානයෙනිs. දූල්වල තානායමේ රැයක්‌ ගත කළ රාජකීය පිරිස, එතැනින් වෑඋඩ, කුරුණෑගල, අහුගොඩ, දඹදෙණිය හරහා ගිරිඋල්ලට ගෙන ගොස්‌ කොළඹට යෑවීම ඩොයිලිගේ සැලසුම විය. දූල්වල තානායමේ රාත්‍රිය ගත කිරීමෙන් පසු රාජකීයයන් වෑඋඩට යවා ඩොයිලි ආපසු මහනුවරට ගියෙන්, ඉන් පසුව ඔවුන් පිළිබඳ තොරතුරු දිනපොතෙහි ලියා නැත. එහෙත් 1815 දී සන්දනංගම සිද්ධාර්ථ නම් හිමි නමක විසින් රචිත -මීවැව විහාරයේ විත්ති පොත නම් පැරණි ලියවිල්ල අනුව රජු ගෙන ගොස්‌ ඇත්තේ, අහුගොඩින් පසුව මීවැව, විහාරේගම, කරගහගෙදර, පනාවිටිය යන ගම් හරහා ගිරිඋල්ලටය. මීවැව ගම මැදින් රැගෙන යන රාජකීයයන් බැලීමට එගම විහාරස්‌ථානයේ වැඩ සිටි සන්දනංගම සිද්ධාර්ථ හිමියන්, සිය ගුරු හාමුදුරුවන් වූ මීවැවේ සෝණුත්තර හිමිද සමග ගොස්‌ ඇත. පුවක්‌ගොල්ලේ මැණික්‌රාළ හා පුංචිරාළ යන මොහොට්‌ටාලවරුද ඒ සමග ගොස්‌ තිබේ. රජතුමා ඔවුන් සමග කථාබස්‌ කොට සිය දෙපා දෝලාවෙන් පිටතට දැමූ බවත්, මොහොට්‌ටාලවරු දෙදෙනා රජුගේ දෙපා සිඹ හැඬූ බවත්, එසේම දෝලාවේ සිටම රජු විසින් භික්‌ෂූන් වහන්සේලා දෙනමට නමස්‌කාර කළ බවත් එම විත්ති පොතෙහි සඳහන් වේ. (කුඹුක්‌ගැටේ විනීත නාහිමි අභිනන්දන සමරු කලාපය පිටුව 25 ගරු මීවැවේ ගුණානන්ද හිමි) මෙහි සඳහන් මැණික්‌රාළ මොහොට්‌ටාලට රජු විසින් සිය රාජාභරණ හා කඩුද සහිත පෙට්‌ටියක්‌ ආරක්‌ෂාව සඳහා භාර දී තිබූ බවට ජන ප්‍රවාදයක්‌ මීවැව ප්‍රදේශයේ පවතී. එය සත්‍ය බවත්, රජු මැද මහනුවරට පළා යාමට ප්‍රථම එම පෙට්‌ටිය දී ඇත්තේ මහ වාසලේ සේවය කළ සිය මීමුත්තාවූ මැණික්‌රාළ මොහොට්‌ටාලට බවත්, ගොඩගම්වෙල පුරාණ විහාරාධිපති ගරු මීවැවේ ගුණානන්ද හිමියෝ පැවසූහ. එම තොරතුර ආරංචිවීමෙන් පසුව පැමිණි ඉංග්‍රීසි සොල්දාදුවන්හට පෙට්‌ටියේa තිබූ වටිනා කඩු හතක්‌ පමණක්‌ භාරදී, ඉතිරිවා ගෙදර අය විසින් සඟවා තිබේ. එම භාණ්‌ඩවල අගය නොදත් පසුකාලීන පරම්පරාවල අය ඒවා වරින්වර විකුණා ඇතැයි වැඩිහිටියන් කියනු තමා කුඩා කල අසා ඇති බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ. මෙයින්ද ප්‍රකට වන්නේ රජු හා සුළු මුළාදෑනීන් අතර තිබූ විශ්වාසවන්ත භාවයයි.

කොළඹට රැගෙන ගිය රජු 1815 මාර්තු 06 වෙනිදා සිට 1816 ජනවාරි 24 වෙනිදා දක්‌වා කොළඹ කොටුවේ රඳවා තැබිණි. එම වකවානුව තුල රජු කල් ගෙවූයේ සංගීතයට සවන් දෙමින් හා තමා සමග සිටි කලාකරුවන්ගේ හැකියාවන් අගය කරමින් යයි මාර්ෂල් පවසයි. ඩොයිලි සිය දිනපොතෙහි සඳහන් කර ඇති පරිදි විවිධාකාරවූ කුරුල්ලන්ගෙන් සමන්විත කුරුළු මඬුවක්‌ද මහනුවර සිටියදී රජුට තිබී ඇත. ඔහු සංවේදී හදවතක්‌ තිබූ මිනිසෙකු යෑයි කීමට මීට වඩා සාක්‌ෂි අවශ්‍ය නොවේ. එවන් පුද්ගලයෙකු කෲර ඝාතකයෙකු බවට පත් කරන ලද්දේ රාජ්‍ය ලෝභීන් විසිනි.

1816 ජනවාරි 24 වන දින මෙරටින් නැව් නැග්ගේ ශ්‍රී වික්‍රම රාජසිංහයන් පමණක්‌ නොවේ. මෙරට ස්‌වාධීනත්වය නැව් නැග්ගේද එදාය. එම ව්‍යසනය සිදුවූයේ රජුගේ කෲරතම උන්මත්තක ක්‍රියා නිසා යයි කියවුනද, විදේශීය මූලාශ්‍රයන් අධ්‍යයනය කරන විට පැහැදිලි වන්නේ රජු පමණක්‌ පව්කාරයා කොට ගල් ගැසීම අනුචිත බවකිs.

රජු සිහසුනෙන් නෙරපීමට ක්‍රියාත්මක වූ පිළිමතලව්වේ, ඇහැලේපොල ආදීන්ගේ පරම්පරා ඉරණම කුමක්‌ වීදැයි සඳහන් නොකළහොත් එය අඩුවක්‌ සේ හැඟේ. පිළිමතලව්වේගේ එකම පුත්‍රයා ඉංග්‍රීසීන්ට පක්‌ෂපාත වී තනතුරු ලැබ ගත්තද, පව් සමාකර ගැනීමට මෙන් 1818 කැරැල්ලට සම්බන්ධ වූයෙන් මුරුසියට පිටුවහල් කරන ලදි. පසු කාලයේදී ලංකාවට පැමිණ 1833 දී මිය ගොස්‌ තිබේ. ඔහුට දරුවන් සිටි බවක්‌ හෙළි නොවන හෙයින් එම පරපුර ඔහුගෙන් අවසාන වන්නට ඇත.

ඇහැලේපොල පරපුර අවසන් වූයේ 1814 දීමය. කොළඹ සිට උඩරටට පැමිණි ඇහැලේපොල, පිළිමතලව්වේගේ දියණිය විවාහ කර ගත්තත් දරුවන් ලද බවක්‌ අසන්නට නොලැබේ. ඇහැලේපොල අවිශ්වාස කළ ඉංග්‍රීසීන් පසුව ඔහුද මුරුසියට පිටුවහල් කරන ලදී. එහි සිටියදී, කුදු ගැසුණු සිරුරින් යුතුව බිම බලාගත් වනම ඇවිදින ඔහුගෙන් -කුමක්‌ සොයන්නේදැයි යමෙකු ප්‍රශ්න කළහොත් -උඩරට නැතිවුණු ස්‌වාධීනත්වය සොයනවා යයි පිළිතුරු දුන් බව කියවේ. 1829 දී ඔහු මිය ගියේ පිටුවහළෙකු ලෙසය.

මාම්පිටියේට සිට ඇත්තේ එක්‌ සොහොයුරෙක්‌ පමණි. ඔහු 1847 දී මිය ගිය අතර ඔහුගේ පුත්‍රයා අවිවාහකයෙකු ලෙසම මිය ගියෙන් එම පරපුරද නිමාවිණි. මුලින් ඉංග්‍රීසීන්හට පක්‌ෂපාතී වූ ඇල්ලේපොල හිස ගසා දැමීමෙන් ඝාතනය කරන ලද්දේ ඉංග්‍රීසීන් විසින් 1818 දීය. ඒ ඔහුද උඩරට මහ කැරැල්ලට සම්බන්ධවීම නිසාය. ඔහුගේ බිරිඳද කාත් කවුරුත් නොමැතිව වසූරිය රෝගයෙන් මිය ගොස්‌ ඇත්තේ ඒ වන විට ඔවුන්ගේ දරුවන්ද ජීවත්ව නොසිටි හෙයිනි.

සිය පියා යයි හැඳින් වූ එක්‌ අයෙකු ඝාතනය කොට සිහසුනෙහි හිඳ ගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එම සිහසුන රැක ගැනීමට පියායයි කියවුණු අනෙකාද ඝාතනය කළේය. විවිධ අතවර මැද දාහත් වසක්‌ උඩරට රාජ්‍යය කරවූ ඔහුද, ඉන්දියාවේ වෙල්ලෝරයට පිටුවහල් කරන ලදුව 1832 ජනවාරි 30 වන දින මිය ගියේය.

 පද්මිනී සෙනෙවිරත්න 

ඉර්ෆාන් ඛාන්: 'අතිදක්ෂ' බොලිවුඩ් රංගන ශිල්පියෙකුගේ නික්ම යාම

ස්ලම්ඩෝග් මිලියනයර් (Slumdog Millionaire) සහ ජුරාසික් වර්ල්ඩ් (Jurassic World) වැනි චිත්‍රපටවල රඟ පෑ භූමිකාවන් හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් බොලිවුඩ් රංගන ශිල්පී ඉර්ෆාන් ඛාන් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 53ක් විය.

ඔහුගේ සූක්ෂම භාවමය රංගනය පිළිබඳව නිසි අගැයීමක් සිදු නොවුණ ද, බොහෝ දෙනෙකු ඔහු ඉන්දියාවේ අතිදක්ෂ රංගන ශිල්පීන් අතරින් කෙනෙකු ලෙස හඳුන්වති.

අතිශය ගෞරවයට පාත්‍ර වූවෙකු වන ඉර්ෆාන් ඛාන් සමග වැඩ කිරීමට ඇති කැමැත්ත නිසා ම චිත්‍රපට අධ්‍යක්ෂ වෙස් ඇන්ඩර්සන් ඔහු වෙනුවෙන් චරිතයක් නිර්මාණය කළේය.

තමන්ට හෝමෝන නිපදවෙන සෛල ආශ්‍රිතව ගෙඩියක් නිසා ඇති වූ දුර්ලභ ඝනයේ රෝගී තත්ත්වයක් ඇතැයි ඔහු 2018 වසරේදී අනාවරණය කළේය.

පසුව ඔහු හෝමෝන නිපදවන සෛලවලට බලපා තිබූ රෝගී තත්ත්වයකට ලන්ඩන් නුවර රෝහලකින් ප්‍රතිකාර ලබා ගත්තේය.

ඔහුගේ මරණය සැලවීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ බොලිවුඩ් ශිල්පීන් මෙන් ම දේශපාලනඥයින් ද ඔහුට ගෞරවය පළ කර තිබිණි.


"ඇදහිය නොහැකි දක්ෂතාවක්... කරුණාවන්ත සගයෙක්... ලෝක සිනමාවට විශිෂ්ට දායකත්වයක් දැක්වූවෙක්... විශාල රික්තයක් නිර්මාණය කර කලින් ම අප අතහැර ගිහින්...," යනුවෙන් ඉර්ෆාන් ඛාන් සමග පිකූ (Piku) සිනමා පටයේ රඟපෑ බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් භච්චන් ට්විටර් පණිවුඩයක් පළ කර තිබිණි.

බොලිවුඩ් නිළි රවීනා තන්ඩන් ට්විටර් ඔස්සේ සඳහන් කර තිබුණේ, ඔහු "අපූරු සම තාරකාවක්, විශිෂ්ට නළුවෙක් සහ සුන්දර මිනිසෙක්," යනුවෙනි.

බොලිවුඩ් සිනමාවේ සිට හොලිවුඩ් පුරවරය දක්වා
බොලිවුඩ් සීමාවෙන් ඔබ්බට ගිය ඉර්ෆාන් ඛාන් හොලිවුඩ් දක්වා ද සිය සිනමා දිවිය පුළුල් කළේය.

කොල්ලකරුවෙකු බවට පත් වූ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මලල ක්‍රීඩකයෙකුගේ ජීවිත කතාව අළලා නිර්මාණය කරන ලද Paan Singh Tomar නමැති චිත්‍රපටයේ ඔහු රඟපෑ ප්‍රධාන චරිතය වෙනුවෙන් 2013 වසරේදී ඔහුට ඉන්දියාවේ ජාතික සිනමා සම්මානය හිමි විය.

ඔහු රඟපෑ අනෙකුත් ජනප්‍රිය සිනමා පට කිහිපයක් වන්නේ, ලන්ච්බොක්ස්, පිකූ සහ හින්දි මීඩියම් යන සිනමා පටයි. ඔහුගේ අවසන් චිත්‍රපටය වූ ඇන්ග්‍රේසි මීඩියම් තිරගත වූයේ පසුගිය මාසයේදීය.


ඔහු ජාත්‍යන්තර අවධානයට ලක්වූයේ, අසිෆ් කපාඩියා අධ්‍යක්ෂණය කළ බ්‍රිතාන්‍ය - ඉන්දීය චිත්‍රපටයක් වූ බැෆ්ටා සම්මානයට පාත්‍ර වූ 'ද වොරියර්' (The Warrior) චිත්‍රපටයෙනි.

එම චිත්‍රපටය ඇකඩමි සම්මාන උළෙලේදී බ්‍රිතාන්‍යය නියෝජනය කිරීමට නිර්දේශ වුව ද, හින්දි භාෂාව බ්‍රිතාන්‍යයේ දේශීය භාෂාවක් නොවූ හෙයින් එම අවස්ථාව අහිමි විය.

චිත්‍රපටයේ තීරණාත්මක සාර්ථකත්වය ඔහුගේ සිනමා දිවිය ආරම්භ කළ අතර ඔහු වසරකට චිත්‍රපට පහකට හෝ හයකට පමණ දායක විය.

නාට්‍ය පාසලේදී ඔහුගේ හැකියාවන් හඳුනාගත් එහෙත් සලාම් බොම්බේ චිත්‍රපටයෙන් ඔහු ඉවත් කළ මීරා නයර් සමග ඔහු සබඳතා පැවැත්වීය. ඔවුන් දෙදෙනා එක්ව 2006 වසරේදී ද නේම්සේක් (The Namesake) සහ 2010 දී 'අයි ලව් යූ' සහ 'නිව් යෝක්' යන චිත්‍රපට නිර්මාණය කළහ.

'අ මයිටි හාර්ට්' (A Mighty Heart) චිත්‍රපටයේ පාකිස්තාන පොලිස් කපිතාන්වරයෙකුගේ චරිතයක් සඳහා මයිකල් වින්ටර්බොටම් ඉර්ෆාන් තෝරාගත් අතර, ඔහු සමග වැඩ කිරීමට ඇති කැමැත්ත නිසා ම ද ඩාර්ජිලිං ලිමිටඩ් (The Darjeeling Limited) චිත්‍රපටය සදහා වෙස් ඇන්ඩර්සන් ඉර්ෆාන් වෙනුවෙන් ම සුළු චරිතයක් නිර්මාණය කළේය.

ඔහුගේ රෝග තත්ත්වය පිළිබඳව ප්‍රසිද්ධ කිරීමෙන් මාස දෙකකට පමණ පසු ඔහු පිළිකා ප්‍රතිකාර සහ "ජීවිතයේ අනිත්‍යබව" පිළිබඳව සිය අත්දැකීම් ඇතුළත් විවෘත ලිපියක් ලිව්වේය.

එම ලිපිය හේතුවෙන් ඔහුට ලොව පුරා සිටින රසිකයින්ගේ සහයෝගය නොමඳව ලැබිණි.

ඔහුගේ මහජන සම්බන්ධතා සමාගම ඔහුගේ අභාවය තහවුරු කරමින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, "ඔහුගේ ප්‍රේමයෙන් වට වී, ඔහු වඩාත් සැලකිලිමත් වූ ඔහුගේ පවුල අතහැර ඔහු ස්වර්ගය බලා නික්ම ගියේ සැබවින්ම තමාගේ ම උරුමයක් ඉතිරි කරමිනි. ඔහුට සමාදානය පතා අපි සැවො ම යාච්ඤා කරමු," යනුවෙනි.

.bbc.com/sinhala

අන්තරේ යන්තරේ ගලවන්න - උපුල් ශාන්ත සන්නස්ගල

රුපියල් 25ක් අල්ලස් ගත් මන්ත්‍රිවරුන්ට ධුරය අහිමි කරයි!

ශ්‍රී ලංකාවේ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වූයේ 1936දීය. එවකට මෙරට තිබූ මන්ත්‍රි ආසන සංඛ්‍යාව 50කි. පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවෙන් නියෝජිතයන් තෝරා පත් කර එවීම සඳහා මෙරට ඡන්දදායකයන් හත් ලක්‍ෂ අට දහසක් සුදුසුකම් ලැබ සිටියත් දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයෝ ලක්‍ෂ 21ක් ලියාපදිංචිව සිටියහ. මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රිවරු 1936 මාර්තු මස 16 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී මුල්වරට රැස්වූයේ ශ්‍රීමත් වෛතිලිංගම් ‍ෙදාරේසාමි මහතාගේ සභාපතිත්වයෙනි.

ඡන්දයෙන් පත්වූ මන්ත්‍රිවරුන් අතරින් 5 දෙනෙකුටත් ආණ්ඩුකාරවරයා විසින් රාජ්‍ය සභාවට පත් කළ මන්ත්‍රිවරුන් අතරින් තිදෙනකුටත් එරෙහිව අල්ලස් චෝදනා එල්ල වීම දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා අවධියේ සිදුවූ සුවිශේෂම සිදුවීම විය. මෙම මන්ත්‍රිවරුන් අල්ලස් ගත් බවට ඔප්පු වී ඇතැයි අනාවරණය වන්නේ 1943 අප්‍රේල් 03 වැනිදා රාජ නීතිඥ එල්.එම්.ඩී. ද සිල්වා මහතා ආණ්ඩුකාරවරයා වෙත භාර දුන් අල්ලස් කොමිෂන් සභා වාර්තාව මඟිනි.

චෝදනා එල්ල වූ මන්ත්‍රිවරුන් මෙසේය.
කළුතර මන්ත්‍රි චාල්ස් බටුවන්තුඩාව, නුවරඑළිය මන්ත්‍රි ඊ.ඩබ්ලිව්. අබේගුණසේකර, බණ්ඩාරවෙල මන්ත්‍රි ඩී.ඩී. ගුණසේකර, බළන්ගොඩ මන්ත්‍රි එච්.ඒ. ගුණසේකර, ත්‍රිකුණාමලය – මඩකළපුව මන්ත්‍රි ඊ.ආර්. තම්බිමුත්තු.

ආණ්ඩුකාරවරයා විසින් පත් කළ මන්ත්‍රිවරුන් වූ එච්.ඊ.නිවුන්හැම්, එච්.එෆ්. පාර්පිට්, ඊ.සී. විලියර්ස්.
බණ්ඩාරවෙල මන්ත්‍රි ඩී.ඩී. ගුණසේකර මහතාට එල්ල වූ චෝදනාව වූයේ නෙල්සන් නමැති බස් යෝජනා ක්‍රමය වෙනුවෙන් බස් රථ අයිතිකරුවන් දෙදෙනකුගෙන් රුපියල් 25ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවයි. මන්ත්‍රිවරයා නිතරම අල්ලස් ගන්නා අයකු බව පෙනී යන බව ද ඉහත චෝදනාව ඔප්පු වී යැයි ද අල්ලස් කොමිෂන් සභාවෙන් නිගමනය කර තිබිණි.

එකල වතු අයිති ඉංගී්‍රසි ජාතිකයන්ගේ බල පරාක්‍රමය බිඳ හෙළමින් හා හිටපු සුදු ජාතික මන්ත්‍රි පැලෝස් ගෝඩන් වැඩි ඡන්ද 9372කින් පරාජයට පත් කරමින් බණ්ඩාරවෙල ආසනය දිනා ගත්තද ඩී.ඩී. ගුණසේකර මන්ත්‍රිවරයාට රුපියල් 25ක් හේතුවෙන් සිය ධුරය හැර යන්නට සිදුවීම කිසිවකු බලාපොරොත්තු වූවක් නොවීය. ඔහු සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සභාපතිත්වයෙන් යුතු අධ්‍යාපන විධායක කාරක සභාවේ සභිකයකු ද විය.

කළුතර මන්ත්‍රි චාල්ස් බටුවන්තුඩාව මහතාට එල්ල වූයේ අරක්කු රේන්දකරුවන් ගෙන් රුපියල් 2000ක් ලබා ගැනීමේ චෝදනාවයි.
එයද ඔප්පු වී යැයි එම වාර්තාවේ සඳහන්ය. බටුවන්තුඩාව මන්ත්‍රිවරයාද ඩී.බී. ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුතු ස්වදේශ කටයුතු පිළිබඳ විධායක සභාවේ සභිකයකු ලෙස කටයුතු කළේය.

ත්‍රිකුණාමලය – මඩකළපුව මහජන මන්ත්‍රි ඊ.ආර්. තම්බිමුත්තු මහතාත් බළන්ගොඩ මහජන මන්ත්‍රි එච්.ඒ. ගුණසේකර මහතාත් නැඟෙනහිර මාතලේ ප්‍රදේශයේ “රටේ මහත්තයා” තනතුරට එල්.බී. අත්තනායක නමැත්තකු පත් කිරීම සඳහා මුදලින් අල්ලස් ගත් බවට වූ චෝදනාවද ඔප්පු වී යැයි රාජ්‍ය නීතිඥ ඇල්.ඇම්.ඩී. ද සිල්වා මහතා සිය වාර්තාවේ සඳහන් කර ඇත. තම්බිමුත්තු මහතා ගත් මුදල රු. 250ක් ද 750ක්ද යන්න පැහැදිලි නැති බවත් එහි සඳහන්ය. තම්බිමුත්තු මන්ත්‍රිවරයා එවකට ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු පළාත් පාලන විධායක කාරක සභාවේ සාමාජිකයෙකි. ගුණසේකර මන්ත්‍රිවරයා ස්වදේශ කටයුතු පිළිබ¼ද විධායක සභිකයකුව සිටියේය.

නුවරඑළිය මන්ත්‍රි ඊ.ඩබ්ලිව්. අබේගුණසේකර මහතා රුපියල් 500ක අල්ලසක් ගත් බව ඔප්පු වී යැයි ද ඔහු අන් මන්ත්‍රිවරුන්ට අල්ලස් දීමට මඟ පැදූ මූලිකයා බව හෙළිවූයේ යැයි ද අල්ලස් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබේ.
ආණ්ඩුකාරවරයා විසින් පත් කළ සුදු ජාතික මන්ත්‍රිවරුන් තිදෙනාට එරෙහි අල්ලස් චෝදනා මීට වඩා වෙනස්ය. එනමුත් “අල්ලස්” යන වචනයෙහි අදහස අනුව ඔවුන් තිදෙනාට එරෙහි චෝදනාවලටද ඔවුහු වරදකරුවන් කරනු ලැබූහ.

එච්.ඊ. නිවුන්හැම් මහතාට එල්ල වූ චෝදනාව වූයේ යුරෝපීය වෙළෙඳ සංගමයේ අදහස් විධායක මණ්ඩලය ඉදිරියේ පැවැසීමට එම සංගමයෙන් මුදල් ලබා ගැනීමයි.
ඒ සඳහා නිවුන්හැම් මහතාට මසකට රුපියල් 2000ක්ද ඒ මහතාගේ ලේකම්වරයකුට මසකට රුපියල් 200ක් ද ගෙවා තිබෙන බව ඔප්පු විය. එහෙයින් ඉහත කාරණයම “අල්ලස් ගැනීම” යැයි පැවැසීමට ප්‍රමාණවත් බව කොමිසමෙන් කියැවිණි.

ඊ.සී. විලියර්ස් මන්ත්‍රිවරයාට ලංකාවේ වැවිලි කරුවන්ගේ සංගමයෙන් මසකට රුපියල් 2000 බැගින් ගෙවා ඇති බව හෙළිවිය. ඒවා ත්‍යාග මුදල් ලෙස හඳුන්වා ඇති අතර ඒවා පිළිගෙන ඇත්තේ එම සංගමයේ අදහස් රාජ්‍ය මන්ත්‍රණ සභාව සහ විධායක මණ්ඩලය ඉදිරියේ තබා ඒවා ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා බව අනාවරණය කෙරිණි.
ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා සභාපතිත්වය දැරූ ස්වදේශ කටයුතු පිළිබඳ විධායක කාරක සභාවේ සභිකයකු වූ එච්.එෆ්. පාර්පිට් මහතා ලංකාවේ ඉඩම් හිමියන්ගේ සංගමයේ ලේකම්වරයා වශයෙන් සහ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයා වශයෙන් මසකට රුපියල් 2000 බැගින් ලබාගෙන තිබෙන බව කොමිසම හමුවේ අනාවරණය වී තිබිණි. ඒ මහතා එවකට සීමාසහිත මැක්වුඩ් සමාගමේ අධ්‍යක්‍ෂවරයා ද විය.

මේ කාරණා “අල්ලස් ගැනීම” යන අර්ථකථනයට ප්‍රමාණවත්ය යනුවෙන් රාජ්‍ය නීතිඥ ඇල්.එම්.ඩී. ද සිල්වා මහතාගේ වාර්තාවේ සඳහන් වීම හේතුවෙන් ඉහත මන්ත්‍රිවරුන් අට දෙනාටම සිය මන්ත්‍රි ධුර හැර යන්නට සිදුවිය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටියදී තමා කරන සේවයක් සම්බන්ධයෙන් අල්ලසක් දීම, ගැනීම හෝ ඉල්ලීම ඔප්පු වුවහොත් එකී මන්ත්‍රිවරයා ධුරයෙන් පහ කර දැමීමට හැකි පනතක් දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ඉන් පසුව සභා සම්මත කර ගැනිණි.

බන්ධුල ගුණරත්න – මව්බිම

ශ්‍රී ලංකාවේ පළමු නගර සභාව සහ නගර ශාලාව

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පළාත් පාලන ආයතනයක් ස්ථාපිත වූයේ මීට අවුරුදු 152 කට පෙරය. එනම් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට ඡන්දයෙන් ප්‍රථම වරට මහජන මන්ත්‍රීවරයකු තෝරා පත් කර ගැනීමටත් අවුරුදු 45 කට කලිනි. මුල්ම ව්‍යවස්ථාදායක සභා ඡන්දය පැවැත්වුණේ 1911 දීය. මුල් රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දය පැවැත් වුණේ 1931 දීය. මුල්ම පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වුණේ 1947 දීය. එබැවින් පළාත්පාලන ක්‍රමයක් පළාත් පාලන ඡන්දයත් බොහෝ වැඩිමහල්ය.




 මෙරටට පළාත් පාලන ක්‍රමයක් හඳුන්වාදීමේ යෝජනාව මුල් වරට ඉදිරිපත් කරන ලද්දේ 1865 සිට 1872 දක්වා ලංකාවේ ආණ්ඩුකාර ධුරය දැරූ සර් හර්කියුලස් පී. ආර්. රොබින්සන් විසිනි. ආණ්ඩුකාරවරයා නිල බලයෙන් එවක පැවැති ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සභාපතිවරයා ද විය. ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සෙසු සාමාජිකයන් වූයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහ ආණ්ඩුකාරවරයා විසින්ම පත්කර ගන්නා ලද තවත් කීප දෙනෙකු පමණි.


ආණ්ඩුකාරවරයාගේ අදහස වූයේ නගරයේ පවිත්‍රතාව ජල සම්පාදනය සෞඛ්‍ය සංරක්ෂණය ආදී අවශ්‍යතා ක්‍රමවත්ව මෙහෙයවීම උදෙසා පාලන මණ්ඩලයක් පත් කිරීමත් එකී සේවා පවත්වාගෙන යෑම නගරවාසී ජනතාවක් බදුවලින් සිදු කළ යුතු බවත්ය.


1865 මෙරටට පත්ව ආ රොබින්සන් ආණ්ඩුකාරවරයා ඒ වර්ෂයේ ඔක්තෝබර් මාසයේම මේ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් මෙය ඔහුගේ මුල් කර්තව්‍යයෙන්ගෙන් එකක් වූ බව පෙනේ. 1865 නොවැම්බර් මාසයේ මේ යෝජනාව දෙවැනි වර කියැවීමෙන් පසු සම්මත කර ගැනුණි.

 ඒ අනුව 1866 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ මහනුවර නගර සඳහා නගර සභා දෙකක් ස්ථාපනය කෙරිණි. එයින් ද ප්‍රථමයෙන් ඡන්දය විමසන ලද්දේ කොළඹ නගර සභාවටයි. එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නගර සභාව කොළඹ නගර සභාව විණි. කොළඹ නගරය කොට්ඨාස නවයකට බෙදා ඒ ඒ කොට්ඨාසය සඳහා දිසාපතිවරයා විසින් කොළඹ කචචේරියේදී නාම යෝජනා භාර ගන්නා ලදී. කොළඹ නගරයේ බදු ගෙවන නගරවාසීහු ඡන්ද දායකයෝ වූහ. කොළඹ කච්චේරියේ දී ඔවුන්ගේ කැමැත්ත විමසා වැඩි දෙනාගේ කැමැත්ත පරිදි කොට්ඨාසවලට නියෝජිතයන් පත් කර ගැණුනි. ඒ අනුව කොට්ඨාස නවයට පත් කර ගත් සභිකයෝ මෙසේ වූහ.


1. කොටුව ජේ. ඩබ්. වෑන්

2. පිටකොටුව ජේ. ඩබ්. වෑන් ගයිසල්

3. සාන්ත බස්තියම ඇස්. ජේ. ද සේරම්

4. සාන්ත පාවුලු ඇස් තම්බයියා

5. කොටහේන සී. ඒ. ලෝරන්ස්

6 අලුත්කඬේ ජේම්ස් ද අල්විස්

7. මරදාන ඇම්. සී. ලෝස්

8. කොම්පඤ්ඤවීදිය වීලිස් පොර්ඞ්

9. කොල්ලුපිටිය එල්. සී. ප්‍රදිනන්දස්



මේ හැර නිලධාරීන් පස් දෙනෙක් ද නගර සභා නියෝජිත මණ්ඩලයට ඇතුළත් වූහ.


1. සී. වී. ලෙයාර්ඞ් බස්නාහිර පළාත් දිසාපති

2. දොස්තර චාර්ල්ස් වෛද්‍ය නිලධාරී

3. මාර්ග කොමසාරිස්/ ඉංජිනේරු ඉඩම්

4. උප නිීතිපති/ මිනින්දෝරු - ග්‍රීන් හේලීස්

5. සභා ලේකම් - සැමුවෙල් ග්‍රෙනියර්


කොළඹ නගර සභාවේ ප්‍රථම සභාපතිවරයා ලෙස පත්වූයේ මහජන නියෝජිතයකු නොව බස්නාහිර දිසාපතිවරයා වූ සී. පී. ලෙයාර්ඞ්ය.


1866 ජනවාරි 16 වැනිදා මංගල රැස්වීම පැවැත්වීමෙන් කොළඹ නගර සභාවේ වැඩ කටයුතු පටන් ගැණුනි. කොළඹ කච්චේරියේ පැවැති මේ ප්‍රථම රැස්වීමේ දී සාකච්ඡාවට ගැනුණු වැදගත් කාරණයක් වූයේ නගර සභා කටයුතු පවත්වාගෙන යෑමට විධිමත් නගර ශාලාවක ඇති අවශ්‍යතාවයි.


එයින් පසු නගර සභාව සඳහා සුදුසු ගොඩනැගිල්ලක් සපයා දෙන ලෙස ලංකාණ්ඩුවෙන් සභාව විසින් ඉල්ලා සිටින ලද නමුත් ඒ ඉල්ලීම් සාර්ථක නොවිණි. ඒ නිසා සභාවට යෝග්‍ය වන ආකාරයේ ගොඩනැගිල්ලක් ඉදිකර ගත යුතු යැයි සභාව විසින්ම යෝජනා සම්මත කර ගන්නා ලදී.


ඒ සඳහා කොළඹ පිටකොටුවෙන් තෝරා ගන්නා ලද භූමි භාගය ජලාශ්‍රිත එකක් විය. එය සාන්ත ජෝන් ඇළ මාර්ගය සමග පිහිටා තිබුණි. එබැවින් එකී භූමිය පස් පුරවා අලුතෙන් සකස් කර ගත යුතු විණි. ඒ අනුව ගොඩනැගිල්ල ඉදිකිරීම පිණිස සැලසුම් සහ ඇස්තමේන්තු කැඳවිමට කටයුතු කෙරිණි.


ඉදිරිපත් වූ සැලසුම් අතුරින් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පී. බර්මන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ සැලැස්ම නගර සභාව විසින් පිළිගන්නා ලදී. ඒ සැලැස්ම වෙනුවෙන් බර්මන් මහතාට ගිනි පනහක ගෙවීමක්ද සිදු කෙරිණි. කලානුරූපී අංගසම්පූර්ණ ගොඩනැගිල්ලක් ලෙස පෙණුන ද ඊට වැය වන අධික වියදම ගැන සලකා බැලු සභාව ඒ සැලසුම අතහැර දැමීමට තීරණය කළ බැවින් නගර ශාලාවක් ඉදිකිරීමේ කාර්යය කල් ගියේය.
එහෙත් නොබෝ කාලකින්ම ඒ යෝජනාව යළි ඉස්මතු විය. එබැවින් නැවත සුදුසු සැලසුම් පිළියෙල කරවීමට කටයුතු කෙරිණි. 1868 දී ඉදිරිපත් වූ නව සැලසුම් අතුරින් බි්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පී ජේ. පී. ස්මිතර් විසින් ඉදිරිපත් කළ සැලසුම පිළිගැනීමට තීරණය විණි. ඓතිහාසික අගයෙන් යුක්තව අභිමානවත් ගොඩනැගිල්ලක් ලෙස අදත් කොළඹ පිටකොටුව නගර මධ්‍යයේ පිහිටා තිබෙන පැරැණි නගර ශාලාව ඒ සැලසුම අනුව බිහි විණි.
නගර ශාලාවේ පිහිටීම අනුව එහි ඉදිරිපසින් පිහිටා තිබුණේ සාන්ත පාවුලු දේවස්ථානයයි. එය පෘතුගීසි යුගයට නෑකම් කී එකක් වූ අතර ඒ වන විට ද එකී දේවස්ථානයට සම්බන්ධිත බොහෝ දෙනා එවක ශේෂව සිටි පෘතුගීසීහු වූහ. නගර ශාලාව පිටු පසින් පිහිටියේ එඩින්බරෝ පොදු වෙළෙඳ පොළයි. 1870 දී එය එඩින්බරෝ පොදු වෙළෙඳ පොළයි. 1870 දී එය එඩින්බරෝ ආදිපාදවරයා විසින් මුල්ගල් තබා ආරම්භ කරන ලද්දක් වූ හෙයින් ඒ නමින් හැඳින්විණි.




නගර ශාලා ගොඩනැගිල්ල දෙමහලකින් සැදුම් ලදුව ඉදිවිණි. උඩුමහලෙහි පිහිටි රැස්වීම් ශාලාව දිගින් අඩි 58ක් ද පළලින් අඩි 25 ක්ද වූ වපසරියකින් යුක්ත විණි.

උඩුමහලේ පිහිටි සභා කාර්යාලය අඩි 25ං21 ප්‍රමාණයෙන්ද ඊට යාබද විශ්‍රාම ශාලාව අඩි 21ං18 ප්‍රමාණයෙන්ද යුක්ත විණි. පහත මහල සුවිසල් ආලින්දයකින් ද පුළුල් බරාදයකින් සමන්විත වූ අතර නාගරික උසාවිය පිහිටියේද පහත මහලයේය. උසාවිය දෙපස බරාද පමණක් අඩි 21-7 ප්‍රමාණයේ විය. ගොඩනැගිල්ලේ දොර ජනේල විවිධ කැටයම් සහිත නිමැවුවෙන් චිත්තාකර්ෂණීයව සකස් විණි. මෙකී දැව භාණ්ඩ නිර්මාණය ද ස්ටිකරයේ සැලසුම් පරිදි විණි. මන්දිර අංගණය ද ප්‍රධාන දොරටුව ද ශෝභාමත්ව සැකසුණි.


මෙසේ අංගසම්පූර්ණව නිමැවුණු නගර ශාලා ගොඩනැගිල්ල සඳහා එවක ඇස්තමේන්තු ගත මුළු වියදම පවුම් 7,000ක් විය. 1873 දී මේ නගර ශාලා ගොඩනැගිල්ල විවෘත කරන ලද්දේ ඒ වන විට ලංකාණ්ඩුවරයාණන් ලෙස පත්ව සිටි සර් විලියම් ග්‍රෙගරි විසිනි.


1873 සිට 1928 දක්වා අවුරුදු 55 ක් පුරා කොළඹ නගර සභාව ලෙස භාවිත වූයේ පිටකොටුවේ පිහිටි මේ ගොඩනැගිල්ලයි. 1928 දී කොළඹ හතේ වික්ටෝරියා උද්‍යානය (වර්තමාන විහාර මහාදේවී උද්‍යානය) නුදුරේ කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල ඉදිකෙරෙන තුරු කොළඹ නගරයේ සකල නාගරික පරිපාලන කාර්යයන් සිදු වූයේ පිටකොටුවේ මේ නගර සභා ගොඩනැගිල්ල තුළය.


1928 න් පසු විවිධ කාර්යයන් උදෙසා භාවිතයට ගැනුණු පැරැණි නගර සභා ගොඩනැගිල්ල පසු කාලයක අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරී ‘බැසට් වෙළෙඳ පොළ’ බවට පත්විය. 1984 දී එවක රජය විසින් යළි මේ පැරැණි මන්දිරය කොළඹ මහ නගර සභාව වෙත පවරන ලදී. කොළඹ නගර සභා ඉතිහාසය පමණක් නොව ශ්‍රී ලංකාවේ පළාත් පාලන ඉතිහාසයේ ද ඉපැරණි දෘශ්‍යමාන සංකේතය ලෙස අදත් කොළඹ පිටුකොටුවේ මේ පැරැණි නගර සභා ගොඩනැගිල්ල අභිමානවත් දර්ශනයක් සේ දැකිය හැකිය.

 ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ
හිටපු නාගරික ලේකම්

ඇන්. ඇම්. අවසන් ගමන් ගිය දින ඡේ. ආර්. ගේ ප්‍රණාමය

විශ්ව කීර්තියට පත් දේශපාලනඥයෙක්‌ සුප්‍රසිද්ධ අර්ථ ශාස්‌ත්‍රඥයෙක්‌. විප්ලවකාරි චින්තකයෙක්‌ - ශ්‍රී ලාංකේය කම්කරු සමිති ව්‍යාපාරයේ පුරෝගාමී, සටන්කාමී නායකයෙක්‌ ද වූ, 1936 දෙසැම්බර් මස 18 දා ආරම්භ කළ ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රථම සාමාජිකයා වී මිය යන තුරුම එහි නායකත්වය දැරූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී 2015 අගෝස්‌තු මස 14 වැනි දිනට වර්ෂ 36 ක්‌ සම්පූර්ණ වන්නේය. ඇන්. ඇම්. ගේ කීර්තිමත් දේශපාලන ගමන් මඟ සංක්‍ෂිප්තව විග්‍රහ කරන විට, 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා
මැතිවරණයේ දී ප්‍රබල ප්‍රතිවාදී අපේක්‍ෂිකාව වූ ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමි (ඡන්ද 12300) පරාජයට පත් කර මුළු ඡන්ද 15275 ද, වැඩි ඡන්ද 2975 ද ලබාගෙන රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වීම ජයග්‍රාහී ආරම්භය ලෙස සනිටුහන් වෙයි. (බ්‍රිතාන්‍ය පාලකයින් ඇන්. ඇම්. ඇතුළු වාමාංශික නායකයින් පිරිසක්‌ සිරගත කිරීම නිසා, 1943-02-06 දින රුවන්වැල්ල ආසනය සඳහා අතුරු මැතිවරණයක්‌ පවත්වා ආර්. ඊ. ජයතිලක මහතා පත්කර ගන්නට යෙදුනි). 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ දී අංක( 84 රුවන්වැල්ල ආසනයට ල.ස.ස.ප.යෙන් 'ගෙය' ලකුණ යටතේ තරග කර, ඡන්ද 10065 ක්‌ ලබාගෙන පී. සී. ඉඹුලාන (එජාප - අත 5200), ඩබ්ලිව්. ආර්. ධර්මසේන (ස්‌වාධීන - අලියා 1583) පරාජයට පත්කරමින් වැඩි ඡන්ද 4865 කින් ජයග්‍රහණය අත්කර ගත්තේය.

එතැන් සිට 1952, 1956 මැතිවරණ වලදී රුවන්වැල්ල ආසනයේ ද, 1960 මාර්තු මැතිවරණයේ සිට 1977 දක්‌වා යටියන්තොට ආසනයේ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස අඛණ්‌ඩව තේරී පත්විය. මේ අතර 1949 දී කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ධුරයකට ද තේරී පත්වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා 1954 - 1956 කාලය තුළ නගර සභාවේ 11 වැනි නගරාධිපතිවරයා ලෙසටද කටයුතු කළේය. 1948 සිට 1952 දක්‌වා ද, 1956 සිට 1960 දක්‌වා ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විපක්‍ෂ නායක ධුරය ද 1964 ශ්‍රී ල.නි.ප. - ල.ස.ස.ප. සභාග රජයේ
සහ 1970 ශ්‍රී ල.නි.ප. ල.ස.ස.ප. - කො.ප. සමඟි පෙරමුණු රජයේ ද මුදල් අමාත්‍ය ධුරය ද ඉසිලීය. මේසා දීර්ඝ වූ දේශපාලන චාරිකාව තුළ දී 1933 "සූරිය මල් ව්‍යාපාරය", 1934-35 ජාතියට අභියෝගයක්‌ වූ මැලේරියා වසංගතය, බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සිරගත කර සිටිය දී සිර ගෙදරින් පලායැම - නැවත සිරගත කිරීම, සුප්‍රකට "බ්රේස්‌ගර්ඩල්" සිද්ධිය, 1947 මහා කම්කරු වැඩ වර්ජනය, 1953 අගෝස්‌තු 12 දා ඓතිහාසික හර්තාලය වැනි සිදුවීම් ඇන්. ඇම්. නාමය මෙරට ජන හදවත් තුළ සදානුස්‌මරණය වීමට හේතු වූවා නිසැකය. 1977 පරාජයෙන් නොසැලුන ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යාපාරයේ ඉදිරි අනාගතය පිළිබඳ පර්යේෂණාත්මක කටුතුවල සක්‍රීය ලෙස නියෑලී සිටියේය. මේ අතර තුර අසනීප තත්ත්වයෙන් ද පසු වූ ඔහු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එංගලන්තයට ගිය අතර, විවේක ගනිමින් සිටිය දී, නැවත අසනීප තත්ත්වය උත්සන්න වීමෙන් 1979-08-09 දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. 1979-08-13 දින "දිනමිණ" පත්‍රය වාර්තා කර තිබුණේ ඇන්. ඇම්. ගේ තත්ත්වය බරපතළ බවත්, මහ රෝහලේ වෛද්‍ය විශේෂඥයන්ගේ සුපරීක්‍ෂණය යටතේ විශේෂ වාට්‌ටුවක ප්‍රතිකාර ලබමින් සිටින බවත්ය. ඔහුගේ ජීවිතයේ


අවසන් දින කීපය තුළ සිදුවීම් දෙස බලන විට, උපන් රට කෙරෙහි තිබූ ලැදියාව ද, තමන්ගේ සුව පහසුවට වඩා අන්‍යයන්ගේ ඕනෑ එපාකම් මුල් තැන්හි ලා සැලකීමේ ශ්‍රේෂ්ඨ ගුණාංගය ද මැනවින් ප්‍රකට කරයි. ඇන්. ඇම්. ගේ ජීවිතයේ අවසන් කාලය පිළිබඳව, එතුමා සමීපව ඇසුරු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා 1979 අගෝස්‌තු මස 30 දින "දෙසතිය" පුවත් සඟරාවට (2 වැනි වෙළුම - 12 වැනි කලාපය) කරුණු හෙළිකර තිබෙන්නේ මේ අයුරිනි.

"ඇන්. එම්. එංගලන්තයට ගියාම දොස්‌තරවරු කියලා තියෙනවා මේ ලෙඩේ සුව කිරීමට අපහසු බව. ඒ නිසා වැඩිය මහන්සි නොවී මාස කීපයක්‌ එංගලන්තයේ සිට විවේක ගන්නා ලෙස. ඒත් පෙරේරා මහතා කියලා තියෙනවා මට මෙහේ ඉන්න බැහැ, කම්මැලියි, පාළුයි මගේ මිත්‍රයෝ කවුරුත් මෙහේ නැහැ. ඒ හන්දා මම මගේ රටට ගිහින් විවේක ගන්නවා කියලා. මම හිතන්නේ ඇන්. ඇම්. දැනගත්තා මේ ගමන ඔහුට සුව වීමට සෑහෙන්ඩ අමාරු බව. ඒත් ඒ බව මොනම වෙලාවකවත් පෙන්නුවේ නැහැ". තවදුරටත් කරුණු පැහැදිළි කරන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මෙසේ ප්‍රකාශ කර ඇත. "කිසිම වේලාවක රෝගය ගැන කථා කළේ නැහැ. කථා කළත් ඒ රෝගය ගැන බයක්‌ නැත්නම් දුකක්‌ ගැන කිව්වේ නැහැ. කොටින්ම ඒ ගැන කථා කිරීමට ඔහු අකමැති වුණා. නිතරම කථා කළේ දේශපාලනය ගැනයි. වාමාංශිකයින්ට ඉදිරි කාලය දුෂ්කර කාලයක්‌ විය හැකි බවද මා සමඟ පැවසුවා. මේ වන විට ඔහුගේ අවසාන ලිපිය වන "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මගේ අරගලය" නමැති ලිපිය අවසන් කරමින් තිබුනා. ඒත් ඒ ලිපිය අත්සන් කිරීමට ප්‍රථම රෝහලට ඇතුල් කළා. ඔහු කිව්වේ "මම ඇවිත් අත්සන් කරන්නම්" කියලයි. ඒත් ඒ වාසනාව ඔහුට නැති වුණා. ඔහු ශ්‍රේෂ්ඨ ලෙස දේශපාලනය කළ කෙනෙක්‌. අන්තිමේ දී කිසිම කරදරයක්‌ නොමැතිව වේදනාවෙන් තොරව සිහිසුන්වම මිය ගියා". ඇන්. ඇම්. ට රාජ්‍ය ගෞරව ලැබීම මෙහිදී විශේෂ සිද්ධියක්‌ විදිහට මට හඳුන්වන්න පුළුවන්." ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුල් කිරීමෙන් අනතුරුව සිදුවීම් මාලාව "දෙසතිය" පුවත් සඟරාවට විස්‌තර කරන හෙද නිලධාරිනී මාලා කිතුලේගොඩ( "අගෝස්‌තු මාසයේ නම වෙනිදා හරියටම දහවල් දොළහයි පහළොවට තමයි ඇන්. ඇම්. පෙරේරා මහතාව අපේ අංශයට ඇතුළු කළේ. අපි පුදුම වුණා පෙරේරා මහතාට මෙච්චර අසාධ්‍යද කියලා. මොකද ඔහු කිසිම අමාරුවක්‌ පෙන්නුවේ නැහැ. සාමාන්‍යයෙන් මෙම අංශයට ඇතුල් කරන්නේ අසාධ්‍ය රෝගීන් පමණයි. ඊට පස්‌සේ හොඳින් කථා කළා. සාමාන්‍යයෙන් මෙම අංශය වායු සමීකරණය කරලයි තියෙන්නේ. මාත් එක්‌ක මුලින්ම කථා කළ වචන මට තාම මතකයි. පෙරේරා මහත්මයා කිව්වා මට හරි ශිතලයි කියලා. අපි ඉක්‌මනින් අංශයේ වායු සමීකරණ වේගය අඩු කිරීමට වෑයම් කරන විට පෙරේරා මහතා කිව්වේ "එපා මං ගැන විතරක්‌ හිතන්න එපා තවත් රෝගීන් ඉන්නවනේ. ඒ ගොල්ලන්ට හොඳ නැති වෙන්ඩ පුළුවන්. ඒ හන්දා මට බ්ලැන්කට්‌ දෙකක්‌ දෙන්ඩ, මම ඒවා පොරවා ගන්නම් කියලායි. බලවත් අසාධ්‍ය තත්ත්වයක්‌ ඇති බව කිසි විටෙකත් වචනයෙන් පැවසූයේ නැහැ. නමුත් එකොළොස්‌ වැනිදා සිහිය නැති වුණා. දොළොස්‌ වැනිදා ඉඳලා දහ හතරවැනිදා රාත්‍රි නමයයි පහළොව වන තෙක්‌ම කෘතිම ස්‌වසනය ලබා දුන්නා. සිහි නැතිව මුළු ශරීරයම අප්‍රාණිකව තිබුණත් හෘදය වස්‌තුව නීරෝගී ලෙස නියම අන්දමින් ස්‌පන්දනය වුණා. මේ බව අපගේ විද්යුත් කන්තක රේඛන යන්ත්‍රය මගින් අප දැන ගත්තා නමුත් දහහතර වැනිදා රාත්‍රි 9.15 ට ආචාර්ය පෙරේරා මහතා ගේ හෘදය ස්‌ඵන්දනය නැවතුනා. ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ විද්යුත් කන්තක රේඛන යන්ත්‍රය දහහදර වැනිදා රාත්‍රි නවයයි පහළොවට එතෙක්‌ ඒ යන්ත්‍රය මගින් නිකුත් කළ රේඛාවලට වඩා බෙහෙවින් වෙනස්‌ එනම් සෘජු රේඛා නිකුත් කරන්නට වුණා. ඒ මොහොතේම ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා අප අතරින් වෙන් වුණා".

ඇන්. ඇම්. ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව, 1979-08-20 දින ටොරිංටන් චතුරශ්‍රයේ දී සිදු කිරීමට රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ කටයුතු සංවිධානය කෙරිණ. රාජ්‍ය සේවකයන්ට අවමඟුල් උළෙලට සහභාගි වීමට හැකිවනු සඳහා එදින අර්ධ නිවාඩු දිනයක්‌ ලෙස රජය ප්‍රකාශයට පත් කළේය. අගෝස්‌තු මස 17 දින පස්‌වරු 3.00 සිට 20 වැනි දින මධ්‍යාහ්නය දක්‌වා දේහය මහජන ගෞරවය සඳහා පාර්ලිමේන්තු මන්දිරයේ තැන්පත් කර තැබූ අතර එදින පස්‌වරු 1.30 ට ගාලු මුවදොර උතුරු කෙළවරින් පිටත් වූ අවමඟුල් පෙරහැර ටොරිංටන් චතුරශ්‍රයට ළඟාවීමෙන් පසු අවමංගල උත්සවයේ වැඩ ආරම්භ කෙරිණ. මහල් දෙකකින් සමන්විත දර්ශනීය චිතකය කලාශූරී පූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් ඇතුළු කණ්‌ඩායම මහනුවර යුගයේ සම්ප්‍රදායට අනුකූලව නිර්මාණය කර තිබුණේය. අවමංගල උත්සවයට පැමිණ සිටි අති විශාල පිරිස පන්සිල්හි පිහිටුවන ලද්දේ පූජ්‍ය අකුරැටියේ අමරවංශ හිමියන් විසිනි. පැවිදි අනුශාසනා ගණන තුනකට සීමා කර තිබිණි. සියම් මහා නිකාය වෙනුවෙන් විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය පූජ්‍ය කාක්‌කපල්ලියේ අනුරුද්ධ හිමියන් ද, අමරපුර නිකාය වෙනුවෙන් අග්ග මහා පණ්‌ඩිත පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය නා හිමියන්ද, රාමඤ්ඤ නිකාය වෙනුවෙන් පූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද නා හිමියන් ද අනුශාසනා පැවැත්වූහ. අනතුරුව ජාතිය වෙනුවෙන් එදා ඡේ. ආර්. ජයවර්ධන මහතා කථා කළේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිවරයා වශයෙනි. (එ.ජා.ප.ය වෙනුවෙන් ගුණ කථනය කළේ රාජ්‍ය ඇමැති ආනන්ද තිස්‌ස ද අල්විස්‌ මහතාය). රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ පටන්ම එකිනෙකට ඉඳුරා පටහැනි ප්‍රතිපත්ති මත පිහිටා වෙනස්‌ වූ දේශපාලන ගමන් මාර්ග දෙකක්‌ තෝරා ගත් මෙරට දේශපාලන ඉතිහාසයේ යුග පුරුෂයන් දෙදෙනකු ලෙස ඡේ. ආර්. ජයවර්ධන සහ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා යන දෙපළ හැඳින්විය හැකිය. රජය වෙනුවෙන් ශෝක පණිවුඩය කියෑවීමට නියෝජිතයකු නොඑවා, වාමාංශික ව්‍යාපාරයේ සටන්කාමී නායකයාට ප්‍රණාමය දැක්‌වීම සඳහා ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා නියමිත වේලාවට අවමංගල උත්සවයට පැමිණ සිටියේ ය. එතුමාගේ සම්පූර්ණ කථාව "නාමයත් සේවයත් අමරණීයයි" යන ප්‍රධාන සිරස්‌තලය යටතේ 1979-08-21 දින "දිනමිණ" පුවත් පතේ මුල් පිටුවේ පළකර තිබුණේ මෙසේය.

"වර්ෂ 1925 කාලයේ දී එවකට තිබුන විශ්වවිද්‍යාල කොලීජියේ එකට ඉගෙන ගත් කාලයේ සිට මා ඇන්. ඇම්. පෙරේරා මහතා දැනගෙන සිටියා. මා හිතන හැටියට මීට කලින් එතුමාව දැන ඇඳිනගෙන සිටි දේශපාලන පක්‍ෂ සාමාජිකයෙක්‌වත්, දේශපාලන ආධාරකාරයෙක්‌වත් අද නැහැ. ඒ කාලයේ අපේ අර්ථ ශාස්‌ත්‍ර කථිකාචාර්යවරයාව සිටියේ මදුරාසියේ සිට පැමිණි මහාචාර්ය තෝමස්‌ මහත්මයා යි. එතුමා යටතේ අපි දෙදෙනාම අර්ථ ශාස්‌ත්‍රය ඉගෙන ගත්තා. කොහොමද කියන්ට මා දන්නේ නැහැ. නමුත් අප දෙදෙනා ගජ යාලුවන් බවට පත්වුණා. ආගන්තුක කථිකාචාර්යවරයෙකු වූ මහාචාර්ය මැක්‌ස්‌විල් නම් මහත්මයෙක්‌ "ජාතීන්ගේ සංගමය" ගැන දේශණයක්‌ පැවැත් වූ දිනය මට හොඳ හැටි මතකයි. අප අදහස්‌ කළා කථාව නිම කිරීමෙන් පසු ඒ කථිකාචාර්යවරයාගෙන් ප්‍රශ්න කීපයක්‌ අහන්න. අප වෙනුවෙන් ඒ ප්‍රශ්නය ඉදිරිපත් කළේ ඇන්. ඇම්. පෙරේරා මහත්මයායි. ප්‍රශ්නය නම්(- ඇමරිකා එක්‌සත් ජනපදය ජාතීන්ගේ සංගමයේ සාමාජිකයෙක්‌ නොවූයේ මන්ද? යන්නයි. එක්‌සත් ජනපදය ජාතීන්ගේ සංගමයේ සාමාජිකයෙකු නොවූ නිසා, ජාතීන්ගේ සංගමය සැබවින්ම 'ජාතීන්ගේ සංගමයක්‌' නොව ජාති සමහරකගේ සංගමයක්‌ බව අපි ප්‍රකාශ කළා.

ඇන්. ඇම්. එංගලන්තයට ගියාට පසු, අවුරුදු කීපයක්‌ යන තුරු එතුමා මට දකින්නට බැරිවුණා. නමුත් සියරට පැමිණීමෙන් පසු තරුණ සංගමයක්‌ ආරම්භ කර දේශපාලන ව්‍යාපාරයකට මුල පුරන්නට ඇන්. ඇම්. පෙරේරා මහතා සමත් වුණා. නීති වෘත්තියේ වැඩ කටයුතුවල බහුල වශයෙන්ම යෙදෙන්නට වූ නිසා, මට ඒ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්ට බැරි වුණත් අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයට ආධාර දීම මගේ ආසාවක්‌ව තිබුණා. වර්ෂ 1939 දී ලංකා ජාතික සංගමයට බැඳීමෙන් පසු අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය හා ජාතික නිදහස්‌ සටන් ව්‍යාපාරය මේ ජාතික සංගමයේ මාර්ගයෙන් කරන්නට මා අධිෂ්ඨාන කර ගත්තා. ඊට පසු ඇන්. ඇම්. පෙරේරා මහතා සහ එතුමාගේ මිත්‍රයන් දේශපාලන සිරකරුවන් වශයෙන් බන්ධනාගාර ගත වූවාට පසු ඒ මහත්වරුන් නිදහස්‌ කර ගැනීමටත් නිදහස්‌ සටන දිගටම ගෙන යැමටත් මා විසින් කළ හැකිව තිබූ හැම දෙයක්‌ම එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකුව සිට කරන්නට මා පොහොසත් වුණා. හිර ගෙදරට ගොස්‌ එතුමා දැක හමු වී ඒ මහත්වරුන්ට නිදහස ලබා දීම ගැන රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇතුලේදීත් පිටතදීත් මා බොහෝ විට අදහස්‌ ප්‍රකාශ කළා. අවුරුදු ගණනක්‌ මෙසේ පසු වුණා. අප දෙගොල්ලට වෙනස්‌ වෙනස්‌ ගමන් මාර්ගවල යන්නට සිදු වුණා. අපේ අදහස්‌ වෙනස්‌ වුණත් කරුණු කීපයක්‌ අතින් අපේ හදවත් එක සමානව ක්‍රියා කළා. එනම් ශ්‍රී ලංකාවේ ජාතික නිදහස, ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍යය හා පීඩිත ජනතාවගේ සුබ සිද්ධිය යන කරුණුයි. එතුමාගේ අරමුණ සාර්ථක කර ගැනීම සඳහා අපේ ඉතිහාසයේ නොදන්නා තරම් ආත්ම පරිත්‍යාගයකින් හා මමත්වයකින් එතුමා ක්‍රියා කළා. එතුමාගේ නාමයත් ජනතාව වෙනුවෙන් එතුමා කළ සේවයත් අප හැම මෙලොවින් ඉක්‌ම යැමෙන් පසුව සුදුසු පරිද්දෙන්ම අමරණීය වනු, අනුස්‌මරණීය වනු නො අනුමානය. වඩා හොඳ ජීවන තත්ත්වයක්‌ අපේක්‍ෂා කරන පීඩිත ජනතාවගේ ජීවනය උසස්‌ කරලීමේ සටනකට උර දෙමින් මෙසේ දීර්ඝ කාලයක්‌ රට ජාතිය වෙනුවෙන් ක්‍රියා කළ දේශප්‍රේමීන් අපේ ඉතිහාසයට ඇතුළු වී සිටින්නේ ඉතා ස්‌වල්ප දෙනෙකි. ජාති ජාතිත් එතුමාගේ ගුණ අනුස්‌මරණය කරන අනාගත පරම්පරා මෙසේ කියනවා නිසැකයි.

"සත්‍ය වශයෙන්ම අවංක වූ දේශ සේවකයාණෙනි,
ඔබ ඔබේ කාර්යය හොඳින් ඉටු කළා"

ජී. ආර්. ඩී. බණ්‌ඩාර

දොරවල් කඩාගෙන මිනිස්සු ආපු අතීතයට ගමනක් ....චින්තන ජයසේන ගැන අතීත මතක

විමලනාත් වීරරත්න

මම දැන් පදිංචිය දෙල්ගොඩ සියඹලාපෙ කියන හරියෙ. මීට ටික කාලෙකට කලින් දවසක් ඔන්න මම ? බෝවෙලා අඩියකුත් ගහලා බස් නැතුව පයින්ම ගෙදර යනවා. මගදි තව දෙගොඩහරියෙ වයසෙ මනුස්සයෙක් හම්බ වුණා. මිනිහත් ටිකක් බීලා හිටියෙ. කයියක් ගහගෙන යමු කියලා දෙන්න එක්ක දැන් වැනි වැනී එනවා. නොයෙක් දේවල් කතා කර කර යන ගමන් මිනිහා මගෙන් නම ඇහුවා. මං කිව්වා චින්තන ජයසේන කියලා. මිනිහා එකපාරටම ගමන නවත්තලා, මගේ කමිස කොළරයෙන් අල්ලලා ‘අඩෝ බිව්ව පළියට ඉන්ටර්නැෂනල් බොරු කියන්න එපා’ කියලා මගේ කනට එකක් දුන්නෙ නැද්ද තරු විසිවෙන්න. මං ගුටිකාලා නිකම් හිටියා මිසක් ගමට එනතුරු මොකුත් කියන්න ගියේ නෑ’
චින්තන ජයසේන අමුතු ලෙස නම පතළ වූයේ එක ජාතියක වැඩකාරයකු වූ නිසාය. චින්තන උපන්නේ රණාලේදීය. තාත්තා විදුහල්පතිවරයෙකු ලෙස සේවය කළ නිසා පාසල් දහයක දොළහක ඉගෙන ගන්නට චින්තනට සිදු විය. ඔහු දෙමාපියන් සමග වැඩි කාලයක් ජීවත් වූයේ පානදුර පල්ලිමුල්ලේය. චින්තන කියන පරිදි ඔහුගේ උපහාස ලිවීම, සමාජ විචාරය, තීරු රචනා ආදියෙහි පදනම කාලයක් තිස්සේ බොහෝ තන්හි ඇවිදීම හා බොහෝ පිරිසක් ඇසුරු කිරීමය. ඔහුට ස්වරූප ගණනාවක පත්තර කරන්නට හැකියාව ලැබුණේ තමන් ලද අත්දැකීම්වල විවිධත්වය නිසා විය හැකිය. කොලම, අද, සිත්තර, හෙට, විලාසිතා ආදී එකිනෙකට මුළුමනින් වෙනස් අන්තර්ගතයන් සහිත ඔහුගේ නිමැවුම් හැම එකක්ම පාහේ ලංකාවේ ඉහළම ජනපි‍්‍රයත්වය ලද ඒවාය. චින්තනගේ කොලම හා සිත්තර චිත‍්‍රකතා පත‍්‍රය පළමුවැනි කලාපයේ සිටම මිලදී ගැනීමට පාඨකයන් ආවේ පත්තර කඩවල දොරවල් බිඳගෙනය. චින්තන මුලින්ම සම්බන්ධ වී සිටියේ උදය පුවත්පතටය. ඒ පාසල් යන අවධියේදීය. මුලින්ම අම්මා ගැන කවියක් ලියාගෙන තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා හමුවන්නට ගිය චින්තන උදයට ලියන්නට පටන් ගත්තේය. අවුරුදු නිවාඩුවට පත්තරේ කට්ටිය ගම්බිම් බලා යන විට චින්තන එහි සෝදුපත් බැලීම භාරගත්තේය. චින්තන කැවුම් කන්න නැවතුණා එහෙනම් කියා සෙස්සෝ සිනාසුණහ. එහෙත් චින්තන ක‍්‍රම ක‍්‍රමයෙන් පත්තර කලාවේ පුංචි පුංචි දේවල්වල සිට ලොකු දේවල් දක්වා වැඩ ඉගෙන ගත්තේය.
ඊට ටික කාලෙකට පස්සේ තමයි මං ‘කොලම’ පටන් ගත්තේ. ඒක තනි තීරුවක්. මිල ශත 10යි. එ්කත් අරගෙන මම ගියා තුම්මුල්ලෙ පත්තර කඬේ ලියනගේ මුදලාලි හම්බවෙන්න. මිනිහා මේ තීරුව දැක්ක ගමන් මගේ ඇඟට ගොඩවෙලා මොකක්ද මේ, ඕවා කොහේ විකුණන්නද කියල අහපි. මං ඉතිං ටිකක් යාප්පුවෙලා කොලම මිනිහා ළඟට දාලා ආවා. ඊට පස්සෙ ලියනගේටත් හරි පුදුමයි. කොලම මිනිහා ගාව එක වතාවකට දෙසිය පනහක් විකිණෙන්න පටන් ගත්තා. කොලම නැද්ද කියලා පාඨකයො ඒක අහගෙන එන පත්තර කඩයක් බවට ලියනගේගෙ කඬේ පත්වුණා. ඔයින් මෙයින් මුදලාලිත් මාත් එක්ක හුඟක් යාළුවුණා.’ කොලම නමැති නම එම තීරුවේ සඳහන්ව තිබෙන්නේ අකුරු වර්ග තුනකිනි. ‘ල’ යන්න අනෙක් අකුරු දෙකට වඩා බොහෝ සෙයින් විශාලය. ‘කො’ යන්න පුංචිය. ‘ම’ යන්න කො යන්නට වඩා ටිකක් ලොකුය. ‘මේක ගැහුවෙ ලෙටර් ප්‍රෙස් ක‍්‍රමයට. නමට අකුරු අමුණන්න බලනකොට එකම ජාතියෙ අකුරු එතන නොතිබුණු නිසයි අකුරු ප‍්‍රමාණ තුනකින් කොලම කියන නම හදන්න වුණේ. හැබැයි ඒක අලූත්ම වැඩක් වගේ පෙනුණා.
චින්තන සිය තීරුවෙන් දේශපාලනය, කලාව හා සමාජ අගතීන් තදින් විවේචනය කළේය. එනිසා ඇතැම්හු කොලම සමග වෛර බැඳගත්තා. මේ අරෝව පිළිබඳව චින්තන එක් කොලමක ලියන්නේ මෙබන්දකි.
‘එකමත් එක රටක කිරි බරෙන් තන බුරුල්ල පිරුණු එළිච්චියක් සිටියාය. කිරි බර නිසා එළිච්චි යනවිට තන පොකුරු ඒ අතටත් මේ අතටත් වැනෙමින් බිමට කඩා වැටෙන්නට තතනයි. මේ දුටු එක් මෝඩ නරියෙක් තන වැටුණු පසු එළුමස් කන ලොබින් එළිච්චි පසුපස හති වැටෙන තුරු ගියේය. එහෙත් තන බිම වැටුණේ නැත. එමෙන්ම කොලම පළවීම පමාවනු දුටු ඇතැම් මෝඩ නරි කොලමට කෙළවී ඇතැයි උදම් ඇනූහ. කටමැත දෙඩූහ. තන බිම වැටුණත් කොලමට කෙළවෙන්නේ නැත. කොලම පළවන්නේ කොලමට වුවමනා වූ විට පමණය’ චින්තන ලියූ එකම කොලමක්වත් ඔහු ළඟ තිබුණේ නැත. එහෙත් දෙතුන් පළකින් ඉරීගිය එකම එක තීරු ලිපියක් ඔහුගේ බිරිඳ වන චාන්දනී සුරැුකිව තබාගෙන සිටියාය. එහි පිටුපස තිබුණේ චින්තන ලියූ අහස් ගව්ව චිත‍්‍රපටය පිළිබඳ විචාරයකි. අහස් ගව්වේ නළුවන් කිහිප අවස්ථාවකදීම යට ඇඳුම් ඇඳගෙන සිටීමත් පතී එ්වා සමීප රූප ලෙස පෙන්වීමත් එහිදී චින්තනගේ විවේචනයට බඳුන් වී තිබුණි.
එ්ක විවේචනය කළාට මම බොරු සදාචාර විරෝධියෙක් නෙවෙයි. දන්නැද්ද සමහර දේවල් අනවශ්‍ය ප‍්‍රවණතා බවට පත්වෙනවනෙ. ඒකයි.
චින්තන 1970 දි පමන අද පත්තරය පටන් ගත්තේ අනුර බණ්ඩාරනායකගේ ආරාධනයෙනි. මේ කාලයේ ඇත්ත පුවත්පතේ බී.ඒ. සිරිවර්ධන, රිචඞ් විජේසිරි වැනි අය හමුවන්නටත් ආ ගිය චින්තනට ඇත්තේ සිරා උපදෙස් දී තිබුණේ කොතන වැඩ කළත් කෙළින් වැඩ කරන්න යනුවෙනි. එහෙත් අද පත්තරයේ අවශ්‍යතාව අනුර නමැති චරිතය ගොඩනැංගවීම විය. චින්තන ඒ කොන්ත‍්‍රාත්තුව භාරගෙන නිර්මාණාත්මක වැඩ කොටසක් ඉටු කළේය. හොඳ වැටුපක්ද ලැබුණි.
‘අද පටන් ගන්නා කොට අපිට ටෙලිෆෝන් එකක්වත් තිබුණේ නැහැ. දවසක් අනුර මගෙන් ඇහුවා බෙලිඅත්තෙ අලූත් මන්තී‍්‍ර හොඳ කොල්ලෙක්. මිනිහට අපි සපෝට් එකක් දෙමුද කියලා. මිනිහා ඔෆිස් එකට ටෙලිෆෝන් එකකුත් දෙයි කියලත් අනුර කිව්වා. මම හා කියලා එවකට ළාබාලම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා වෙච්ච මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්ටර්වීව් එකක් පත්තරේ දැම්මා. 28635 කියන එයාගෙ දුරකතනයත් අපේ ඔෆිස් එකට දුන්නා. ඕං තව දවසක් උදේ පාන්දරම අනුර මට කතා කරලා චින්තන අද ලොකු වැඩක් නැත්නම් ගමනක් යමුද ඇහුවා. මං හා කිව්වා. සත්වෝද්‍යානයට. එතන ලොක්කා නීල් ද අල්විස් කියලා කෙනෙක්. අපි යනකොට එ්කෙ හිටියා පූස් පැටියෙක් වගේ හුරතල් කොටි පැටියෙක්. අනුර මූව දැක්ක ගමන් ඉල්ලූවා. අගමැතිනිගෙ පුතාගෙ ඉල්ලීමනෙ. සතුන් වත්තෙ ලොක්කත් හා ගන්න කියලා දුන්නා. අරලියගහ මන්දිර්යට ගෙනත් මට කිව්වා චින්තන මූට නමක් කියන්නකො කියලා. මං කිව්වා නිකං ගෙනාපු එකානෙ එ්නිසා බිංදු කියලා නම දාන්න කියලා. හැබැයි මේ බිංදුව මාසෙන් දෙකෙන් සීය දෙසීය සයිස් එකට හැදුණා. අනුර දැන් මූව ගෙදර පැත්තක තියාගෙන හුරතල් කර කර හදනවා. හැබැයි චන්ද්‍රිකා එහෙම වැඩිය ඔය කොටි හුරතලයට ආවේ නැහැ. එ් දවස්වල ජාත්‍යන්තර සමුළුවක් ලංකාවේ තිබුණා. රාජ්‍ය නායකයො, වෙනත් විශේෂ නියෝජිතයො සෑහෙන පිරිසකුත් ලංකාවට ආවා. අගමැතිතුමිය මේ කට්ටියට දවසක් අරලියගහ මන්දිරයෙ කෑමකට ආරාධනා කළා. ඔන්න දැන් රාජ්‍ය නායකයො කෑම මේසෙ කියමු. මෙන්න බොලේ බිංදුවා එකපාරටම ඇවිත් මේසෙ ගාවට පැන්නා. ඌ නිකං සෙල්ලමට වගේ දාපු සද්දෙට රාජ්‍ය නායකයො ටික බයවෙච්ච පාර සේරම මේසෙ උඩට පැන්නා. මැඩම් දුවගෙන ඇවිත් අනුරට බැන්නා මම මේ රටේ මිනිස්සු ටික බලාගන්න මහන්සි වෙනවා. උඹ මේ කැලේ ඉන්න කොටි ගෙට දාගෙන. අරන් පලයන් මේකව කියලා මැතිනි එවෙලේම ලොරියක් ගෙන්වලා කොටියා රිටර්න් කළා’
චින්තනට හැරිස් හුළුගල්ල සමීපවන්නේ 1975දීය. චින්තනගේ සමහර පත්තර නැවතී තිබුණු එවකදී හැරිස් කීවේ අලූත් වැඩක් කළ හැකි නම් මුදල් ටිකක් වියදම් කළ හැකි බවකි. නව ආරක චිත‍්‍ර කතා පත්තරයක් පිළිබඳ අදහස ඒ වනවිටත් චින්තන තුළ මතු වී තිබුණි. හෙතෙම සිත්තර චිත‍්‍රකතා පත‍්‍රය පටන් ගත්තේ කච්චේරියේ වැඩ කරමින් සිටි කැමිලස් පෙරේරාත් සම්බන්ධ කරගෙනය. එ් වන විට පළවෙමින් තිබුණු එකම චිත‍්‍රකතා පත‍්‍රය වූයේ ලේක්හවුස් ප‍්‍රකාශනයක් වූ සතුටය. සිත්තරට කැමිලස් ගජමෑන්, දොංසේතං, ලපයා, සිමෝනා වැනි චරිත ඇසුරින් හාස්‍ය හා සමාජ විචාරාත්මක චිත‍්‍ර කතා දෙකක් එක් කළේය. සරත් කවිරත්න හිතට වහල්වීමි කතාව ගෙනාවේය. ලිීලාරත්න ස්පාටකස් එකතු කළේය. සරත් මධු ඉතිං ඊට පස්සේ ඇන්දේය. එ් නං දැම්මේත් චින්තනය. යුනිිකෝ ටෝගා මෙන්ම සල්ෆා වැනි විද්‍යා ප‍්‍රබන්ධයක් ද චිත‍්‍ර කතාවක් ලෙස සිත්තරෙන් එළියට ආවේය. පළවිය යුතු චිත‍්‍ර කතා කුමන ආකාරයේ ඒවාද යන්න හා සංයුතිය ගැන මුළුමනින් සැලසුම් සකස් කළේ චින්තනය.
චිත‍්‍රකතාවක් නිව්ස්වලදි වගේ මොකටද කාටද කොහොමද කොහේද ඇයි එහෙම වුණේ කියනා හේතුඵල සම්බන්ධය මත ගොඩනැගීමටයි මම උපදෙස් දුන්නෙ. මොකටද කාටද කියන එකෙන් තොරව චිත‍්‍ර කතාවක් වුණත් පළකරන්න මම කැමති වුණේ නැහැ. හැරිස් ඇහුවා පළමුවැනි පත්තරේ කීයක් පි‍්‍රන්ට් කරන්නවද කියලා. මං කිව්වා 25,000ක් ගහමු කියලා. හැරිස් කිව්වා තව අවුරුදු දහයකින් නම් මං විසිපන්දාහට අනුමැතිය දෙන්නම් කියලා. එයා වැඬේ පහළට දාලයි හිතුවෙ. හැබැයි මම කොහොමහරි විසිපන්දාහක් ගැස්සෙව්වා. පළමුවැනි පත්තරේ ගන්න තුම්මුල්ලෙ කඬේ දොරවල් කඩාගෙනයි මිනිස්සු ආවේ. සිත්තර ඉතා ඉක්මනට සතියක සෙල්ස් ලක්ෂ දෙකහමාර පැන්නා. හැරිස් හුළුගල්ල හොල්මං වෙලයි මේ වැඬේ දිහා බලාගෙන හිටියෙ. හැරිස් එ් පාර මට රේසිං කාර් එකකුත් තෑගි දුන්නා. පඩිය රුපියල් 2500යි. 75 දී එ්ක ලොකු ගාණක්. සතිපතා සේල්ස් ප‍්‍රමෝෂන් බලන්න අපි රට පුරා යනවා. මාත් හොඳට කෑවා බිව්වා. තිඹිරිගස්යායෙන් ගේකුත් ගත්තා. ඞී.එස්. සේනානායක පාවිච්චි කරපු වොල්වෝ කාරෙකත් පස්සෙ කාලෙක රු. 1500කට ගත්තා.’
ඒ කාලයේදී චින්තන කවි පොත් දෙකක් ලිව්වේය. එ් හතරේ වාට්ටුව (කවි/කෙටිකතා* සහ මල් සතක් සේ හිරු නැගෙන්නා යන කෘති දෙකය. එ් හැරුණු විට අනුකරණවාදී සිනමාවට එරෙහිව විචාරයෙහි ද පෙරමුණ ගත්තේය. විලාසිතා නමින් සඟරාවක්ද සංස්කරණය කළේය. විලාසිතා කන්තෝරුව තිබුණේ ස්ටුඩියෝ එකකය. එ් සංගීතවේදී ආර්.එ්. චන්ද්‍රසේන මාස්ටර්ගේ ගෙවල් ඉදිරිපිටය. චින්තන, ජෝති, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි වැනි මිතුරන් හඳුනා ගන්නේ එහිදීය. එපමණක් නොව මරදානේ චොප්පෙ අයියා, හැටේ වත්තේ නිහාල්, ගෝනවල සුනිල් වැනි අය දැන හඳුනා ගත්තේත් ඒ අහළ පහළ කරක් ගැසීමෙනි. බන්දු මුණසිංහ, සේනක පෙරේරා, වික්ටර් රත්නායක චින්තනගේ ගජමිතුරන් වන්නේ මරදානේ බජාර් එකේදීය.
’73 දී විතර වික්ටර් දවසක් කිව්වා මම ෂෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා ඒකට නමක් දාමුද කියලා. මමයි, ආර්.ආර්. සමරකෝනුයි තවත් කීපදෙනෙකුටයි නම දාන එක වික්ටර් භාර දුන්නා. අපි ඉතිං හවස් වරුවල වික්ටර්ගෙ මහරගම ගෙදර ගිහින් නම ගැන සාකච්ඡුා කරනවා. ගිය හැම දවසකම ගල් බෝතල් දෙකක් විතර ඉවර කරනවා. ගල් එකක් එ් සවස්වල රු.12යි. හවස කතාව පටන් ගත්තම අපි සමහරදාට එන්නේ උදේ. දවස් ගාණක් ඔහොම ගතවුණා. එ්ත් නමක් නෑ. අන්තිමට මට ඔය ‘ස’ කියන අකුර ඔළුවට ඇවිත් වික්ටර්ට කිව්වා. වික්ටර්ටත් වඩා එයාගෙ නෝනා ‘ස’ නමට කැමති වුණා. සමහරු ඇහුවා තනි අකුරෙන් පෝස්ටර් ගහන්න පුළුවන්ද වගේ වැඩකට නැති ප‍්‍රශ්න. අන්තිමට ලූම්බිණියෙ ‘ස’ පටන් ගත්තු දවසෙ දොරවල් කඩාගෙන සෙනග ආවේ.’
චින්තන නම් පට බැඳීමට රුසියෙකි. ඔහු තබන නම් අතිශයින්ම ජනපි‍්‍රය වන අතර ඒවා ආයාසයෙන් තොරව චින්තනගේ සිත තුළ ජනිතවීම විශේෂත්වයකි. ලංකාවට කොන්ඩෝම ආපු අලූත එය ප‍්‍රචාරය කිරීමේ කාර්යය භාරගෙන තිබුණේ ඞී. අල්විස් ඇඞ්වර්ටයිසින් ආයතනයයි. එහි හිමිකරු ආනන්ද තිස්ස ද අල්විස් මහතාය. චින්තන කොල්ලූපිටියේ නැවතී සිටින සමයේ දහවල් එකොළහ වෙද්දී බීර එකක් බීමට රේණුකා හෝටලයට යන පුරුද්දක් තිබුණි. දිනක් ආනන්ද තිස්ස ද අල්විස් චින්තනගේ මිතුරෙකුත් සමග එහි ඇවිත් සිටියේය. මිතුරා ආනන්ද තිස්ස ද අල්විස් මහතාට චින්තන හඳුන්වා දුන්නේ මෙයාට කියලා අරකට නමක් දාගන්න පුළුවන් කියාය.
‘ඒ පාර ආනන්ද තිස්ස ද අල්විස් මට කොන්ඩොම් එක ගැන කියලා ඒක පාවිච්චි කිරීමේ අවශ්‍යතාව, අරමුණ විස්තරාත්මකව පැහැදිලි කළා. ඊට පස්සෙ කිව්වා මේක මිනිස්සු අතරෙ ජනපි‍්‍රය කරන්න ගැළපෙන නමක් දාගන්න ඕනෙ කියලා. මං කිව්වා ඕක ඉතිං වැඩිය කල්පනා කර කර ඉන්න දෙයක් නෙවෙයි. කවුරුත් සතුටින් ඉන්න වෙලාවනෙ. එ් නිසා ඕකට පී‍්‍රති කියලා දාමු කියලා.’
චින්තන කියන්නේ තමන් හොඳ රත්තෙකු විය යුතුය කියා සිතූ මිනිසෙකු බවය. කොළ කොහොමටත් පෙන්නන්න බැහැ කියූ හෙතෙම අනුර බණ්ඩාරනායකගේ මැදිහත් වීමෙන් ‘අඳ පත්තරේ ගැසුවේය. ඊට පසු චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඉල්ලීමකට අනුව ‘හෙට’ පත්තරේ ගැසුවේය. මේ තත්ත්වය තුළ චින්තන අවසානයේදී නිල් වූවාද යන්න මගේ අවසාන ප‍්‍රශ්නය විය. චින්තනගේ උත්තරය වුණේ එහෙම වුණේ නැහැ යන්නය. ඔහුගේ අදහස මේ සියල්ලන් මැද තමන් කළේ කිසියම් නිර්මාණාත්මක කටයුත්තක් යන්නය. සමහරවිට බීලා පයින් ගිය අමුත්තා තමන් සමග වැනි වැනී යන අනෙකා චින්තන ජයසේනගේ නමට කැළලක් කරන්නට සැරසෙනවා යන අදහසින් රොස්ව ගොස් කනට එකක් දුන්නේ චින්තන ජයසේන නාමය පිළිබඳව නොනැසී පවතින භක්තිමත් හැඟීමනිසා විය හැකිය.

විමලනාත් වීරරත්න

සූරිය මල පිපෙයි පොපි මල පරවෙයි - 1933 සූරියමල් ව්‍යාපාරය ගැන කතාව

roar.media
 සීතල උඳුවප් සමයට සැරසෙන නොවැම්බර් මාසයේදී ඉංගී්‍රසින්ගේ පොපි මල පිපුනෝය. ඒ ඉංග්‍රීසි පාලකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ය. ඔවුන්ගේ දුක බෙදා ගන්නටය. නැතහොත් දුකට පිහිට වන්නටය. ඉංග්‍රීසි සුදු අධිරාජ්‍යවාදීන් විසින් ආරම්භ කොට තිබූ සුප්‍රකට පොපිමල් ව්‍යාපාරය මෙරට වැසියන්ගේ හිස මත බලෙන් පටවන ලද බරක්‌ විය.

අවුරුද්දක්‌ අවුරුද්දක්‌ පාසා එළඹෙන නොවැම්බර් හෙවත් 11 වැනි මාසයේ පෙ. ව. 11 පසුවී විනාඩි 11 සිට රටම විනාඩි 5 ක පමණ කාලයක්‌ නිශ්ශබ්දතාව දක්‌වා පළමුවැනි ලෝක මහා සංග්‍රාමයේදී ජීවිතක්‍ෂයට පත්වූQ ඉංග්‍රීසි සොල්දාදුවන් සිහිකළ යුතු බවට ඉංග්‍රීසි ආණ්‌ඩුව නියෝග කොට තිබිණි. මුල් කාලයේදී අකමැත්තෙන් හෝ එම නියෝග පිළිපැදීමට ශ්‍රී ලාංකිකයන්ට සිදුවිය. ඒ සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් හිරිහැර විඳීමට සිදුවන නිසාය.

පළමු වැනි ලෝක යුද්ධයේදී ආබාධිත ඉංග්‍රීසි හමුදාවේ සෙබළුන්ගේ සුබසාධන සඳහා පොපිමල් විකිණීමේ ව්‍යාපාරය ආරම්භ කොට තිබිණි. ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබාගන්නා එම පොපි මල් අලෙවියෙන් එකතුවන මුදල් යළි ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවූයේ නැත. එම නිසා පොපිමල් ව්‍යාපාරයට මෙරට ජනතාව තුළ පිළිගැනීමක්‌ ඇතිකරලීමට ඉංගී්‍රසින්ට හැකියාව ලැබුණේ නැත. නමුත් ඉංග්‍රීසින්ගේ මර්දනය හමුවේ අසරණ වූ ශ්‍රී ලාංකිකයන්ට පොපි මල් මිලදී ගන්නට සිදුවී තිබිණි.

"සූරියමල් ව්‍යාපාරය" ජනතාව අතරට යන්නේ එම රතු පැහැති අධිරාජ්‍යවාදී පොපිමලට විරුද්ධවය. එය එක්‌ අතකින් අධිරාජ්‍ය විරෝධී ශ්‍රී ලාංකික ජාතික ව්‍යාපාරයේම කොටසක්‌ බඳු විය. කහ පැහැති සූරියමලට මේ නිසා සියලුම ශ්‍රී ලාංකිකයෝ එක්‌වන්නට ආදරය දක්‌වන්නට පටන් ගත්හ.

සූරියමල් ව්‍යපාරය පිළිබඳ වූ ජාතික අභිමානයෙන් ඔද වැඩුණු පිලිප් මෙන්ම රොබට්‌ ගුණවර්ධනගේ ද පියා වූ බොරලුගොඩ රාළහාමි සිය දරුවන් ද ඒ සඳහා යොමු කරන්නට කටයුතු කළේය.

සුද්දො අපේ රටේ මිනිසුන්ගෙන් පුළුවන් තරම් වැඩ ගත්ත. අපි යුද්දෙදි ඉස්‌සරහට ගියේ. අපේ අත පය කැඩුණ, සිය ගණනක්‌ දහස්‌ ගණනක්‌ මැරුණා. සුද්දො පොපිමල් විකුණ විකුණා ඒවා උන්ගෙ රටට අරගෙන යනවා. අපේ රටේ අත පය නැතිවෙච්ච අබ්බගාත වෙච්ච අයට සතයක්‌වත් දෙන්නෙ නැහැ. මියගිය අයගෙ පවුල්වලට සහනයක්‌ නැහැ...

ශ්‍රී ලංකාවේ සේවාමුක්‌ත බළකායේ හිටපු නිලධාරියෙක්‌ වූ ඊලියන් පෙරේරා මහතා මෙරට සිටි තරුණ උගතුන් ඇමතුවේ එලෙසිනි.

ඊලියන් පෙරේරා මහතා යුද හමුදාවේ සේවය කිරීමට අමතරව අධිනීතිඥවරයකු ලෙසද කටයුතු කළේය. සිංහලයකු නොවූ එතුමා බර්ගර් ජාතිකයකු වූ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයෙකි.

සූරියමල් ව්‍යාපාරය පිළිබඳ වූ ඊලියන් පෙරේරා මහතාගේ අදහස 1931 දී පමණ ඇති වුවද එහි පළමුවැනි රැස්‌වීම විධිමත් ලෙස 1933 නොවැම්බර් මස 11 වැනිදා පැවැත්විණි.

එදින පොපිමල් ව්‍යාපාරයට පමණක්‌ නොව සුදු අධිරාජ්‍යයටද අභියෝග කරමින් නිශ්ශබ්දතාව රකිනවා වෙනුවට කොළඹ ඇතුළු නගර රැසකම අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ කියමින් ඝෝෂා කරන්නට සූරියමල් ව්‍යාපාරය කටයුතු කළේය. තවත් අයෙක්‌ පොපිමල් වෙනුවට සූරියමල් අලෙවි කළහ.

සූරියමල් ව්‍යාපාරයේ පළමුවැනි රැස්‌වීම පැවැත්වූයේ වෛද්‍ය මේරී රත්නම් නම් වූ බර්ගර් ජාතික කාන්තාවකට අයත් වූ කොළඹ ලෝටස්‌ පාරේ පිහිටි නිවසකදීය. මෙම රැස්‌වීමට ඊලියන් පෙරේරා මෙන්ම පිලිප්, රොබට්‌, ඇන්. ඇම්, කොල්වින්, ලෙස්‌ලි මෙන්ම රොබින් රත්නම්, ඇම්. ජී. මෙන්ඩිස්‌, වර්නන් ගුණසේකර, බී. ඡේ. ප්‍රනාන්දු, රොයිස්‌ ද මෙල්, විල්මට්‌ ඒ. පෙරේරා, ඡේ. සී. ටී. කොතලාවල, සෙලිනා පෙරේරා (පසුව ඇන්. ඇම්. පෙරේරාගේ බිරිය වූ) අයිලින් වීරසේකර ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.

සූරියමල් ව්‍යාපාරයේ එම ආරම්භක අවස්‌ථාව සඳහා මාතරින් සහභාගි වෙමින් ඊට පෙරමුණ ගෙන ක්‍රියා කළ අයකු වූයේ මොරවක රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිත දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහයන්ය. එමෙන්ම මාතර සුජාතා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ඩොරින් යං මෙනෙවිය ද ඊට සහභාගි වූහ. සූරියමල් ව්‍යාපාරයට කාන්තාවන් එකතු කරමින් ප්‍රබල දායකත්වයක්‌ ඇය ලබා දුන්නාය.

සූරියමල් ව්‍යාපාරයේ ආරම්භක සභාපති ධුරය කාන්තාවකට හිමිවීම විශේෂත්වයකි. ඇය ඩොරීන් යං ය. රොබින් රත්නම් සහ ටෙරන්ස්‌ ද සිල්වා යන මහත්වරු එහි සම ලේකම්වරු වූහ. පසුව මහනුවර, යාපනය, ගාල්ල ආදී ප්‍රදේශ මට්‌ටමින් සූරියමල් ව්‍යාපාරය දිවයින පුරා පැතිරී ගියේය.

සූරිය මලක්‌ මිලදී ගෙන පළඳින්නා අධිරාජ්‍ය විරෝධී යුද විරෝධී අයකුම පමණක්‌ නොව සාගින්නෙන්, දුකෙන් පෙළෙමින් නිරුවතින් රෝ බියෙන් නූගත්කමින් පෙළෙමින් සිටින අසරණ ලාංකිකයන්ට ආදරය හා අනුකම්පා කරන්නෙක්‌ ද වෙයි. නිදහසත්, ආත්ම ගෞරවයත් අපේක්‍ෂා කරන හැම පුරවැසියෙක්‌ම සූරිය මලක්‌ මිලදී ගෙන පළඳින්න...·

සූරියමල් ව්‍යාපාරය එලෙස ආයාචනා කරන්නට විය. සූරියමල් ව්‍යාපාරයේ අරමුණු බොහෝ දෙනෙක්‌ සිත් ගත්හ. පහත් යෑයි සම්මත කුලවල ජනතාවගේ පාසල්වල සුබසාධනය, දරුවන්ගේ අධ්‍යාපනය ආදිය වෙනුවෙන් ද එම සූරියමල් ව්‍යාපාරයට ලැබෙන මුදල් යෙදවීය.

සූරියමල් ව්‍යාපාරය ජනතාව අතර වඩාත් ප්‍රචලිත කිරීමට ජාතිමාමක කවියෝ ද කටයුතු කළහ. පී. බී. අල්විස්‌ පෙරේරා සූරීහු ඒ අතර මුල් වෙති.

යුදයට ගොසින් වෙඩි සැර කඩු පහර වැදී

අප රට වැසියන්ට එක සතයකුදු නොදී

සුදු ගැටවලින් තරවත් අරමුදල පොදී

මිලයට ගතොත් පොපි මල් හෙන හතම වදී

පොලි මල්වලින් තරවෙයි අදිරද වාදේ

පිළිකුල් කරමු එය දුටු තැන තැන බේදේ

කහමල් පැළඳ ගත හොත් ජයසිරි මූදේ

මනකල් අමාන්දහස්‌ අමරස පෑදේ

සූරිය මල් ව්‍යාපාරය ජනතාව අතරට වඩාත් සමීප වූයේ 1933-1934 කාලයේ රට පුරා පැතිර ගිය මැලේරියා වසංගතය අවස්‌ථාවේය. එහි භයානකකම එවකට කෑගල්ල උප දිසාපති ලෙස සේවය කරමින් සිටි එෆ්. සී. ගිබ්සන් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා තබන මෙම සටහනින් අවබෝධ වෙයි.

මම එම ගම පුරා ගෙන් ගෙට ගියෙමි. එක්‌ දුගී පැල්පතක මවක දරුවකු වදා සිටියාය. ඒ දෙදෙනාට සාත්තු සප්පායම් කිරීමට පළාතකවත් කිසිවකු නොවීය. පණ ඇති සැවොම මැලේරියාව සෑදී උණ විකාරයෙන් දොඩවමින් වෙව්ලමින් සිටියහ. ඒ ළඟ ළඟ එන මරු වැළඳගැනීමට සූදානමින්ය. ගෙය තුළ මැරෙන තම ඥතියාගේ මළ සිරුර භූමදානය කිරීමටවත් ඔවුනට උනන්දුවක්‌ නැත. තවත් පැල්පතක ජීවතුන් අතර සිටියේ එක්‌ බිළිඳියක පමණි. ඇය මිය ගිය තම මවගේ තනයෙන් කිරි උරා බොමින් සිටියාය."

කෑගල්ල, පොල්ගහවෙල, අවිස්‌සාවේල්ල, දැරණියගල, රුවන්වැල්ල ඇතුළුදිවයින පුරා පුද්ගලයෝ ලක්‍ෂයකට අධික පිරිසක්‌ මැලේරියා වසංගතයෙන් මිය ගියහ. සූරියමල් ව්‍යාපාරය එම මැලේරියා වසංගතයෙන් පීඩා විඳින පිරිසට පිළිසරණ වීමට ක්‍රියා කළේය. සුදු ආණ්‌ඩුවද බොහෝ දේශපාලකයන්ද එම අවස්‌ථාවේ ඊට මැදිහත් නොවීම නිසා ජනතාව සූරියමල් ව්‍යාපාරයටත්, වාමාංශික තරුණ නායකයන්ටත් වඩාත් ළං වන්නට වූහ.

වෛද්‍යවරයකු වූ දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ මහතා සූරියමල් ව්‍යාපාරය මඟින් දියත් කළ මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහා පෙරමුණ ගත්තේය. බොරලුගොඩ වලව්ව එස්‌. ඒ. වික්‍රමසිංහ ගේ වෛද්‍ය මෙහෙයුම් මධ්‍යස්‌ථානය බවට පත්විය.

සූරියමල් ව්‍යාපාරයේ නායකයෝ විපතට පත් ජනතාවට ඖෂධ වර්ග, ආහාර සහ වෙනත් උපකාර කළහ.

එමෙන්ම මියගිය අය භූමදානය කිරීමේ කටයුතුද සිදු කළහ. තුන් කෝරලයේ ජනතාවට පරිප්පු රැගෙන ගිය ඇන්. ඇම්. පෙරේරා පරිප්පු මහත්තයා ලෙස හැඳින්වූයේද මෙම මැලේරියා මර්දන ව්‍යාපාරය නිසාය.

අධිරාජ්‍ය විරෝධීව ශ්‍රී ලාංකිකයන්ට පිහිටවීම සඳහා ආරම්භ කෙරුණු සූරියමල් ව්‍යාපාරය ඉන් අනතුරුව මේ රටේ දේශපාලන පක්‍ෂ බිහිකරලීමට විශේෂයෙන් වාමාංශික දේශපාලනය කරළියට ගෙන ඒමටද ක්‍රියා කරයි.

දෙනගම ධම්මික රණවීර
 ඡායාරූපය  - roar.media

මාධ්‍ය ඔස්තාර්ලාගේ කෙරුවාවෙන් බිඳක්...

ශ්‍රී ලංකාවේ මාධ්‍ය සදාචාරය පිළිබඳ අපූරු අදහස් කීපයක් පහුගියදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි වික්ටර් අයිවන්ගේ ලිපියක සඳහන් වෙලා තිබුණා. ඔහු රාවය පත්තරේට සතිපතා ලියන දේශපාලන විග්‍රහයේ ජූලි 26 ඉරිදා ලිපිය යොමු වී තිබුණේ විශ්‍රාමික අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ අතීත හා වර්තමාන සමාජ භාවිතාව පිළිබඳව විමසීමක් කිරීමටයි. සරත් නන්ද සිල්වා පිළිබඳව වික්ටර් අයිවන් තරම් කතාබස් කළ වෙනත් මාධ්‍යවේදියෙක් හෝ සමාජ විචාරකයෙක් තවත් නැති නිසාම ඔහුගේ මාධ්‍ය මෙහෙවරට උපහාරයක් හැටියට මේ සටහන සලකන ලෙසත් පාඨක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්න කැමතියි.

රටේ නීතිය පිළිබඳ ඉතා තීරණාත්මක තනතුරු දෙකක් වන නීතිපති හා අගවිනිසුරු යන පදවි දැරූ පුද්ගලයකු වන සරත් එන් සිල්වා එම වැදගත් ධුර දරමින් සිටියදී නීතියටත් සමාජයටත් කළ හානිය ඔහුගේ වර්තමාන දේශපාලන භූමිකාව විමසමින් වික්ටර් අයිවන් යළිත් සමාජයේ අවධානයට යොමු කරනවා. වික්ටර් අයිවන් සිය ලිපියට යොදා තිබෙන සිරස්තලය වන ‘ගඳගහන තරමට කුණු වී සිටියදීත් රටට එපා නොවූ සරත් සිල්වා‘ නම් වැකියම ලිපියේ සමස්ත අන්තර්ගතය හකුළුවා දක්වන නිසා ඒ ගැන මේ ලිපියෙන් ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම සරත් එන් සිල්වාගේ පූර්ණ පැටිකිරිය දැනගන්න අවශ්‍ය කෙනකුට වික්ටර් අයිවන් ලියූ ‘නොනිමි අරගලය' පොත හොයාගෙන කියවන්න කියාත් මතක් කරන්න කැමතියි.

මෙහිදී මගේ අවධානය යොමු වන්නේ වික්ටර් අයිවන්ගේ ලිපියේ සමාජ ඇස අවදි විය යුතු වෙනත් ඉසව්වක් දෙසටයි. එනම් ඔහු ඉතා බරපතළ ලෙස සිය ලිපියේ ඉස්මතු කර පෙන්වන ශ්‍රී ලංකාවේ මාධ්‍ය සදාචාරය හෙවත් ජන මාධ්‍යයේ හැසිරීමයි. එදා වගේම අදත් මාධ්‍ය නිදහස ගැන එහෙමත් නැත්නම් මාධ්‍යවේදියාගේ වගේම මාධ්‍ය හසුරුවන්නන්ගේත් අයිතිවාසිකම් ගැන කතා කරන බොහෝ දෙනාට වික්ටර් අයිවන් මෙහිදී වැදගත් පාඩමක් කියා දෙනවා. ඒ පාඩම මාධ්‍යවේදියාගේ පෑනට පමණක් සීමා කිරීමට ඔහු සූදානම් නැහැ. මාධ්‍යවේදින් වගේම මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ද එකවර විත්ති කූඩුවට නංවන්නට වික්ටර් අයිවන් පසුබට නොවීම තමා ඒ ලිපියේ තිබෙන විශේෂ වැදගත්කම.

වික්ටර් අයිවන් පෙන්වා දෙන විදිහට ලෙනින් රත්නායක නම් විනිසුරුවරයෙක් අපරාධකරුවකුගේ බිරිඳකගෙන් ලිංගික අල්ලසක් ලබාගැනීමේ සිද්දිය තමා පසු කාලයක සරත්-වික්ටර් ද්වන්ද සටනක් බවට පරිවර්තනය වන්නේ. ඒ සා දැවැන්ත අපරාධයක් කළ ලෙනින් විනිසුරුට දඬුවම් කරනු වෙනුවට එවකට නීතිපතිව සිටි සරත් සිල්වා පියවර ගන්නේ ලෙනින්ව ආරක්ෂා කිරීමටයි. නීතිපතිගේ මේ සැකකටයුතු හැසිරීම ප්‍රකට පුද්ගලයන්ගේ තිරෙන් පිටුපස රඟපෑම් සොයාබැලීමට වික්ටර් අයිවන් නම් ගවේෂණාත්මක මාධ්‍යවේදියා තුළ කවදත් පැවති කුතුහලය අවුස්සනවා. සරත් සිල්වා යනු පාතාල ලෝකය සමඟ පවා සබඳතා ඇති ගුප්ත චරිතයක් බව හෙළිදරව් වන්නේ මේ ගවේෂණය ඔස්සේයි.

තමා වන් ගුප්ත හා අශුද්ධ චරිතයකට රටේ දේශපාලන නායකයන් හා මාධ්‍ය මෙන්ම ආගම දහම ද කදිම ආවරණයක් කරගත හැක්කේ කෙසේද යන්න සරත් සිල්වා මැනවින් තේරුම් අරන් සිටි සැටි වික්ටර් අයිවන්ගේ වචන වලින්ම අපි කියවා බලමු. "ඔහු ඉන්නේ කුණු වී ගඳගසන තත්ත්වයක වුවත් ඔහු බෞද්ධයන්ට ධර්ම දේශනා පවත්වන පුද්ගලයකු බවට පත්ව තිබෙනවා පමණක් නොව සමාජ දෙශපාලන ව්‍යාපාරවල කරපිට යන පුද්ගයකුගේ තත්ත්වයට පත්ව තිබෙන්නේ ය. රූපවාහිනී නාළිකාවලින් ඔහුට ලබාදී තිබෙන වැදගත්කම ගැන මම පුදුම නොවෙමි. මා ඔහුට එරෙහිව කරන ලද අරගලය නිසා ජනමාධ්‍යවල රැකවරණය ඔහුගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණේ ය. සමහර ජනමාධ්‍ය හිමිකරුවන්ටද බරපතළ නඩු තිබුණි. එය ඔවුන්ට තමන්ගේ නඩු හබ තමන්ගේ වාසියට හේතුවන ලෙස විසඳා ගැනීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් විය. ඔවුහු ඒ අමාරු මොහොතේදී අගවිනිසුරුවරයාට සිය නාළිකාවලින් උදව් කරන ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැඟීම මගින් ඔවුන්ගේ නඩු ප්‍රශ්න ඔහු ලවා විසඳා ගත්හ. ඒ අර්ථයෙන් ඒ සියලූ දෙනා ඔහුට සදා ණයගැති ය. ඔහුගේ කුණු වූ ශරිරයෙන් හමන දුගඳ නොසලකා ඔහුට තිබෙන ණයගැතිභාවය ප්‍රදර්ශනය කිරීමද තේරුම්ගත හැකිය.”

අදත් සරත් සිල්වා මතු නොව තවත් කුප්‍රකට චරිත ජනමාධ්‍ය හමුවේ පෙළහර පාන හැටි පෙනෙනවා. අපි විකටර් අයිවන්ට බොහොම ළෙන්ගතුව ඇරයුම් කරන්නේ මේ ජරාජීර්ණ චරිත වගේම උන්ට උඩගෙඩි දෙන ජනමාධ්‍ය ඔස්තාර්ලාවත් හුදී ජන පහන් සංවේගය පිණිස තවදුරටත් හෙළිදරව් කරන ලෙසයි.

කමල් පෙරේරා

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..