sponsor

sponsor
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Sample Text

Follow by Email

Video Of Day

වීඩියෝ

දේශපාලන

උණුසුම් පුවත්

news

politics

Journalist

video

» » » » ඇන්. ඇම්. අවසන් ගමන් ගිය දින ඡේ. ආර්. ගේ ප්‍රණාමය

විශ්ව කීර්තියට පත් දේශපාලනඥයෙක්‌ සුප්‍රසිද්ධ අර්ථ ශාස්‌ත්‍රඥයෙක්‌. විප්ලවකාරි චින්තකයෙක්‌ - ශ්‍රී ලාංකේය කම්කරු සමිති ව්‍යාපාරයේ පුරෝගාමී, සටන්කාමී නායකයෙක්‌ ද වූ, 1936 දෙසැම්බර් මස 18 දා ආරම්භ කළ ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රථම සාමාජිකයා වී මිය යන තුරුම එහි නායකත්වය දැරූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී 2015 අගෝස්‌තු මස 14 වැනි දිනට වර්ෂ 36 ක්‌ සම්පූර්ණ වන්නේය. ඇන්. ඇම්. ගේ කීර්තිමත් දේශපාලන ගමන් මඟ සංක්‍ෂිප්තව විග්‍රහ කරන විට, 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා
මැතිවරණයේ දී ප්‍රබල ප්‍රතිවාදී අපේක්‍ෂිකාව වූ ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමි (ඡන්ද 12300) පරාජයට පත් කර මුළු ඡන්ද 15275 ද, වැඩි ඡන්ද 2975 ද ලබාගෙන රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වීම ජයග්‍රාහී ආරම්භය ලෙස සනිටුහන් වෙයි. (බ්‍රිතාන්‍ය පාලකයින් ඇන්. ඇම්. ඇතුළු වාමාංශික නායකයින් පිරිසක්‌ සිරගත කිරීම නිසා, 1943-02-06 දින රුවන්වැල්ල ආසනය සඳහා අතුරු මැතිවරණයක්‌ පවත්වා ආර්. ඊ. ජයතිලක මහතා පත්කර ගන්නට යෙදුනි). 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේ දී අංක( 84 රුවන්වැල්ල ආසනයට ල.ස.ස.ප.යෙන් 'ගෙය' ලකුණ යටතේ තරග කර, ඡන්ද 10065 ක්‌ ලබාගෙන පී. සී. ඉඹුලාන (එජාප - අත 5200), ඩබ්ලිව්. ආර්. ධර්මසේන (ස්‌වාධීන - අලියා 1583) පරාජයට පත්කරමින් වැඩි ඡන්ද 4865 කින් ජයග්‍රහණය අත්කර ගත්තේය.

එතැන් සිට 1952, 1956 මැතිවරණ වලදී රුවන්වැල්ල ආසනයේ ද, 1960 මාර්තු මැතිවරණයේ සිට 1977 දක්‌වා යටියන්තොට ආසනයේ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස අඛණ්‌ඩව තේරී පත්විය. මේ අතර 1949 දී කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ධුරයකට ද තේරී පත්වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා 1954 - 1956 කාලය තුළ නගර සභාවේ 11 වැනි නගරාධිපතිවරයා ලෙසටද කටයුතු කළේය. 1948 සිට 1952 දක්‌වා ද, 1956 සිට 1960 දක්‌වා ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විපක්‍ෂ නායක ධුරය ද 1964 ශ්‍රී ල.නි.ප. - ල.ස.ස.ප. සභාග රජයේ
සහ 1970 ශ්‍රී ල.නි.ප. ල.ස.ස.ප. - කො.ප. සමඟි පෙරමුණු රජයේ ද මුදල් අමාත්‍ය ධුරය ද ඉසිලීය. මේසා දීර්ඝ වූ දේශපාලන චාරිකාව තුළ දී 1933 "සූරිය මල් ව්‍යාපාරය", 1934-35 ජාතියට අභියෝගයක්‌ වූ මැලේරියා වසංගතය, බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සිරගත කර සිටිය දී සිර ගෙදරින් පලායැම - නැවත සිරගත කිරීම, සුප්‍රකට "බ්රේස්‌ගර්ඩල්" සිද්ධිය, 1947 මහා කම්කරු වැඩ වර්ජනය, 1953 අගෝස්‌තු 12 දා ඓතිහාසික හර්තාලය වැනි සිදුවීම් ඇන්. ඇම්. නාමය මෙරට ජන හදවත් තුළ සදානුස්‌මරණය වීමට හේතු වූවා නිසැකය. 1977 පරාජයෙන් නොසැලුන ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ශ්‍රී ලාංකීය දේශපාලන ව්‍යාපාරයේ ඉදිරි අනාගතය පිළිබඳ පර්යේෂණාත්මක කටුතුවල සක්‍රීය ලෙස නියෑලී සිටියේය. මේ අතර තුර අසනීප තත්ත්වයෙන් ද පසු වූ ඔහු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එංගලන්තයට ගිය අතර, විවේක ගනිමින් සිටිය දී, නැවත අසනීප තත්ත්වය උත්සන්න වීමෙන් 1979-08-09 දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. 1979-08-13 දින "දිනමිණ" පත්‍රය වාර්තා කර තිබුණේ ඇන්. ඇම්. ගේ තත්ත්වය බරපතළ බවත්, මහ රෝහලේ වෛද්‍ය විශේෂඥයන්ගේ සුපරීක්‍ෂණය යටතේ විශේෂ වාට්‌ටුවක ප්‍රතිකාර ලබමින් සිටින බවත්ය. ඔහුගේ ජීවිතයේ


අවසන් දින කීපය තුළ සිදුවීම් දෙස බලන විට, උපන් රට කෙරෙහි තිබූ ලැදියාව ද, තමන්ගේ සුව පහසුවට වඩා අන්‍යයන්ගේ ඕනෑ එපාකම් මුල් තැන්හි ලා සැලකීමේ ශ්‍රේෂ්ඨ ගුණාංගය ද මැනවින් ප්‍රකට කරයි. ඇන්. ඇම්. ගේ ජීවිතයේ අවසන් කාලය පිළිබඳව, එතුමා සමීපව ඇසුරු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා 1979 අගෝස්‌තු මස 30 දින "දෙසතිය" පුවත් සඟරාවට (2 වැනි වෙළුම - 12 වැනි කලාපය) කරුණු හෙළිකර තිබෙන්නේ මේ අයුරිනි.

"ඇන්. එම්. එංගලන්තයට ගියාම දොස්‌තරවරු කියලා තියෙනවා මේ ලෙඩේ සුව කිරීමට අපහසු බව. ඒ නිසා වැඩිය මහන්සි නොවී මාස කීපයක්‌ එංගලන්තයේ සිට විවේක ගන්නා ලෙස. ඒත් පෙරේරා මහතා කියලා තියෙනවා මට මෙහේ ඉන්න බැහැ, කම්මැලියි, පාළුයි මගේ මිත්‍රයෝ කවුරුත් මෙහේ නැහැ. ඒ හන්දා මම මගේ රටට ගිහින් විවේක ගන්නවා කියලා. මම හිතන්නේ ඇන්. ඇම්. දැනගත්තා මේ ගමන ඔහුට සුව වීමට සෑහෙන්ඩ අමාරු බව. ඒත් ඒ බව මොනම වෙලාවකවත් පෙන්නුවේ නැහැ". තවදුරටත් කරුණු පැහැදිළි කරන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මෙසේ ප්‍රකාශ කර ඇත. "කිසිම වේලාවක රෝගය ගැන කථා කළේ නැහැ. කථා කළත් ඒ රෝගය ගැන බයක්‌ නැත්නම් දුකක්‌ ගැන කිව්වේ නැහැ. කොටින්ම ඒ ගැන කථා කිරීමට ඔහු අකමැති වුණා. නිතරම කථා කළේ දේශපාලනය ගැනයි. වාමාංශිකයින්ට ඉදිරි කාලය දුෂ්කර කාලයක්‌ විය හැකි බවද මා සමඟ පැවසුවා. මේ වන විට ඔහුගේ අවසාන ලිපිය වන "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මගේ අරගලය" නමැති ලිපිය අවසන් කරමින් තිබුනා. ඒත් ඒ ලිපිය අත්සන් කිරීමට ප්‍රථම රෝහලට ඇතුල් කළා. ඔහු කිව්වේ "මම ඇවිත් අත්සන් කරන්නම්" කියලයි. ඒත් ඒ වාසනාව ඔහුට නැති වුණා. ඔහු ශ්‍රේෂ්ඨ ලෙස දේශපාලනය කළ කෙනෙක්‌. අන්තිමේ දී කිසිම කරදරයක්‌ නොමැතිව වේදනාවෙන් තොරව සිහිසුන්වම මිය ගියා". ඇන්. ඇම්. ට රාජ්‍ය ගෞරව ලැබීම මෙහිදී විශේෂ සිද්ධියක්‌ විදිහට මට හඳුන්වන්න පුළුවන්." ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුල් කිරීමෙන් අනතුරුව සිදුවීම් මාලාව "දෙසතිය" පුවත් සඟරාවට විස්‌තර කරන හෙද නිලධාරිනී මාලා කිතුලේගොඩ( "අගෝස්‌තු මාසයේ නම වෙනිදා හරියටම දහවල් දොළහයි පහළොවට තමයි ඇන්. ඇම්. පෙරේරා මහතාව අපේ අංශයට ඇතුළු කළේ. අපි පුදුම වුණා පෙරේරා මහතාට මෙච්චර අසාධ්‍යද කියලා. මොකද ඔහු කිසිම අමාරුවක්‌ පෙන්නුවේ නැහැ. සාමාන්‍යයෙන් මෙම අංශයට ඇතුල් කරන්නේ අසාධ්‍ය රෝගීන් පමණයි. ඊට පස්‌සේ හොඳින් කථා කළා. සාමාන්‍යයෙන් මෙම අංශය වායු සමීකරණය කරලයි තියෙන්නේ. මාත් එක්‌ක මුලින්ම කථා කළ වචන මට තාම මතකයි. පෙරේරා මහත්මයා කිව්වා මට හරි ශිතලයි කියලා. අපි ඉක්‌මනින් අංශයේ වායු සමීකරණ වේගය අඩු කිරීමට වෑයම් කරන විට පෙරේරා මහතා කිව්වේ "එපා මං ගැන විතරක්‌ හිතන්න එපා තවත් රෝගීන් ඉන්නවනේ. ඒ ගොල්ලන්ට හොඳ නැති වෙන්ඩ පුළුවන්. ඒ හන්දා මට බ්ලැන්කට්‌ දෙකක්‌ දෙන්ඩ, මම ඒවා පොරවා ගන්නම් කියලායි. බලවත් අසාධ්‍ය තත්ත්වයක්‌ ඇති බව කිසි විටෙකත් වචනයෙන් පැවසූයේ නැහැ. නමුත් එකොළොස්‌ වැනිදා සිහිය නැති වුණා. දොළොස්‌ වැනිදා ඉඳලා දහ හතරවැනිදා රාත්‍රි නමයයි පහළොව වන තෙක්‌ම කෘතිම ස්‌වසනය ලබා දුන්නා. සිහි නැතිව මුළු ශරීරයම අප්‍රාණිකව තිබුණත් හෘදය වස්‌තුව නීරෝගී ලෙස නියම අන්දමින් ස්‌පන්දනය වුණා. මේ බව අපගේ විද්යුත් කන්තක රේඛන යන්ත්‍රය මගින් අප දැන ගත්තා නමුත් දහහතර වැනිදා රාත්‍රි 9.15 ට ආචාර්ය පෙරේරා මහතා ගේ හෘදය ස්‌ඵන්දනය නැවතුනා. ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ විද්යුත් කන්තක රේඛන යන්ත්‍රය දහහදර වැනිදා රාත්‍රි නවයයි පහළොවට එතෙක්‌ ඒ යන්ත්‍රය මගින් නිකුත් කළ රේඛාවලට වඩා බෙහෙවින් වෙනස්‌ එනම් සෘජු රේඛා නිකුත් කරන්නට වුණා. ඒ මොහොතේම ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා අප අතරින් වෙන් වුණා".

ඇන්. ඇම්. ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව, 1979-08-20 දින ටොරිංටන් චතුරශ්‍රයේ දී සිදු කිරීමට රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ කටයුතු සංවිධානය කෙරිණ. රාජ්‍ය සේවකයන්ට අවමඟුල් උළෙලට සහභාගි වීමට හැකිවනු සඳහා එදින අර්ධ නිවාඩු දිනයක්‌ ලෙස රජය ප්‍රකාශයට පත් කළේය. අගෝස්‌තු මස 17 දින පස්‌වරු 3.00 සිට 20 වැනි දින මධ්‍යාහ්නය දක්‌වා දේහය මහජන ගෞරවය සඳහා පාර්ලිමේන්තු මන්දිරයේ තැන්පත් කර තැබූ අතර එදින පස්‌වරු 1.30 ට ගාලු මුවදොර උතුරු කෙළවරින් පිටත් වූ අවමඟුල් පෙරහැර ටොරිංටන් චතුරශ්‍රයට ළඟාවීමෙන් පසු අවමංගල උත්සවයේ වැඩ ආරම්භ කෙරිණ. මහල් දෙකකින් සමන්විත දර්ශනීය චිතකය කලාශූරී පූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් ඇතුළු කණ්‌ඩායම මහනුවර යුගයේ සම්ප්‍රදායට අනුකූලව නිර්මාණය කර තිබුණේය. අවමංගල උත්සවයට පැමිණ සිටි අති විශාල පිරිස පන්සිල්හි පිහිටුවන ලද්දේ පූජ්‍ය අකුරැටියේ අමරවංශ හිමියන් විසිනි. පැවිදි අනුශාසනා ගණන තුනකට සීමා කර තිබිණි. සියම් මහා නිකාය වෙනුවෙන් විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය පූජ්‍ය කාක්‌කපල්ලියේ අනුරුද්ධ හිමියන් ද, අමරපුර නිකාය වෙනුවෙන් අග්ග මහා පණ්‌ඩිත පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය නා හිමියන්ද, රාමඤ්ඤ නිකාය වෙනුවෙන් පූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද නා හිමියන් ද අනුශාසනා පැවැත්වූහ. අනතුරුව ජාතිය වෙනුවෙන් එදා ඡේ. ආර්. ජයවර්ධන මහතා කථා කළේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිවරයා වශයෙනි. (එ.ජා.ප.ය වෙනුවෙන් ගුණ කථනය කළේ රාජ්‍ය ඇමැති ආනන්ද තිස්‌ස ද අල්විස්‌ මහතාය). රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ පටන්ම එකිනෙකට ඉඳුරා පටහැනි ප්‍රතිපත්ති මත පිහිටා වෙනස්‌ වූ දේශපාලන ගමන් මාර්ග දෙකක්‌ තෝරා ගත් මෙරට දේශපාලන ඉතිහාසයේ යුග පුරුෂයන් දෙදෙනකු ලෙස ඡේ. ආර්. ජයවර්ධන සහ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා යන දෙපළ හැඳින්විය හැකිය. රජය වෙනුවෙන් ශෝක පණිවුඩය කියෑවීමට නියෝජිතයකු නොඑවා, වාමාංශික ව්‍යාපාරයේ සටන්කාමී නායකයාට ප්‍රණාමය දැක්‌වීම සඳහා ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා නියමිත වේලාවට අවමංගල උත්සවයට පැමිණ සිටියේ ය. එතුමාගේ සම්පූර්ණ කථාව "නාමයත් සේවයත් අමරණීයයි" යන ප්‍රධාන සිරස්‌තලය යටතේ 1979-08-21 දින "දිනමිණ" පුවත් පතේ මුල් පිටුවේ පළකර තිබුණේ මෙසේය.

"වර්ෂ 1925 කාලයේ දී එවකට තිබුන විශ්වවිද්‍යාල කොලීජියේ එකට ඉගෙන ගත් කාලයේ සිට මා ඇන්. ඇම්. පෙරේරා මහතා දැනගෙන සිටියා. මා හිතන හැටියට මීට කලින් එතුමාව දැන ඇඳිනගෙන සිටි දේශපාලන පක්‍ෂ සාමාජිකයෙක්‌වත්, දේශපාලන ආධාරකාරයෙක්‌වත් අද නැහැ. ඒ කාලයේ අපේ අර්ථ ශාස්‌ත්‍ර කථිකාචාර්යවරයාව සිටියේ මදුරාසියේ සිට පැමිණි මහාචාර්ය තෝමස්‌ මහත්මයා යි. එතුමා යටතේ අපි දෙදෙනාම අර්ථ ශාස්‌ත්‍රය ඉගෙන ගත්තා. කොහොමද කියන්ට මා දන්නේ නැහැ. නමුත් අප දෙදෙනා ගජ යාලුවන් බවට පත්වුණා. ආගන්තුක කථිකාචාර්යවරයෙකු වූ මහාචාර්ය මැක්‌ස්‌විල් නම් මහත්මයෙක්‌ "ජාතීන්ගේ සංගමය" ගැන දේශණයක්‌ පැවැත් වූ දිනය මට හොඳ හැටි මතකයි. අප අදහස්‌ කළා කථාව නිම කිරීමෙන් පසු ඒ කථිකාචාර්යවරයාගෙන් ප්‍රශ්න කීපයක්‌ අහන්න. අප වෙනුවෙන් ඒ ප්‍රශ්නය ඉදිරිපත් කළේ ඇන්. ඇම්. පෙරේරා මහත්මයායි. ප්‍රශ්නය නම්(- ඇමරිකා එක්‌සත් ජනපදය ජාතීන්ගේ සංගමයේ සාමාජිකයෙක්‌ නොවූයේ මන්ද? යන්නයි. එක්‌සත් ජනපදය ජාතීන්ගේ සංගමයේ සාමාජිකයෙකු නොවූ නිසා, ජාතීන්ගේ සංගමය සැබවින්ම 'ජාතීන්ගේ සංගමයක්‌' නොව ජාති සමහරකගේ සංගමයක්‌ බව අපි ප්‍රකාශ කළා.

ඇන්. ඇම්. එංගලන්තයට ගියාට පසු, අවුරුදු කීපයක්‌ යන තුරු එතුමා මට දකින්නට බැරිවුණා. නමුත් සියරට පැමිණීමෙන් පසු තරුණ සංගමයක්‌ ආරම්භ කර දේශපාලන ව්‍යාපාරයකට මුල පුරන්නට ඇන්. ඇම්. පෙරේරා මහතා සමත් වුණා. නීති වෘත්තියේ වැඩ කටයුතුවල බහුල වශයෙන්ම යෙදෙන්නට වූ නිසා, මට ඒ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්ට බැරි වුණත් අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයට ආධාර දීම මගේ ආසාවක්‌ව තිබුණා. වර්ෂ 1939 දී ලංකා ජාතික සංගමයට බැඳීමෙන් පසු අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය හා ජාතික නිදහස්‌ සටන් ව්‍යාපාරය මේ ජාතික සංගමයේ මාර්ගයෙන් කරන්නට මා අධිෂ්ඨාන කර ගත්තා. ඊට පසු ඇන්. ඇම්. පෙරේරා මහතා සහ එතුමාගේ මිත්‍රයන් දේශපාලන සිරකරුවන් වශයෙන් බන්ධනාගාර ගත වූවාට පසු ඒ මහත්වරුන් නිදහස්‌ කර ගැනීමටත් නිදහස්‌ සටන දිගටම ගෙන යැමටත් මා විසින් කළ හැකිව තිබූ හැම දෙයක්‌ම එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකුව සිට කරන්නට මා පොහොසත් වුණා. හිර ගෙදරට ගොස්‌ එතුමා දැක හමු වී ඒ මහත්වරුන්ට නිදහස ලබා දීම ගැන රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇතුලේදීත් පිටතදීත් මා බොහෝ විට අදහස්‌ ප්‍රකාශ කළා. අවුරුදු ගණනක්‌ මෙසේ පසු වුණා. අප දෙගොල්ලට වෙනස්‌ වෙනස්‌ ගමන් මාර්ගවල යන්නට සිදු වුණා. අපේ අදහස්‌ වෙනස්‌ වුණත් කරුණු කීපයක්‌ අතින් අපේ හදවත් එක සමානව ක්‍රියා කළා. එනම් ශ්‍රී ලංකාවේ ජාතික නිදහස, ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍යය හා පීඩිත ජනතාවගේ සුබ සිද්ධිය යන කරුණුයි. එතුමාගේ අරමුණ සාර්ථක කර ගැනීම සඳහා අපේ ඉතිහාසයේ නොදන්නා තරම් ආත්ම පරිත්‍යාගයකින් හා මමත්වයකින් එතුමා ක්‍රියා කළා. එතුමාගේ නාමයත් ජනතාව වෙනුවෙන් එතුමා කළ සේවයත් අප හැම මෙලොවින් ඉක්‌ම යැමෙන් පසුව සුදුසු පරිද්දෙන්ම අමරණීය වනු, අනුස්‌මරණීය වනු නො අනුමානය. වඩා හොඳ ජීවන තත්ත්වයක්‌ අපේක්‍ෂා කරන පීඩිත ජනතාවගේ ජීවනය උසස්‌ කරලීමේ සටනකට උර දෙමින් මෙසේ දීර්ඝ කාලයක්‌ රට ජාතිය වෙනුවෙන් ක්‍රියා කළ දේශප්‍රේමීන් අපේ ඉතිහාසයට ඇතුළු වී සිටින්නේ ඉතා ස්‌වල්ප දෙනෙකි. ජාති ජාතිත් එතුමාගේ ගුණ අනුස්‌මරණය කරන අනාගත පරම්පරා මෙසේ කියනවා නිසැකයි.

"සත්‍ය වශයෙන්ම අවංක වූ දේශ සේවකයාණෙනි,
ඔබ ඔබේ කාර්යය හොඳින් ඉටු කළා"

ජී. ආර්. ඩී. බණ්‌ඩාර

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply

මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

කබ්රාල්-නැඟණිය ඇලෝසියස් රඟපෑ තහනමට ලක් වූ ජේම්ස් බොන්ඩ් 1 - උපුල් ජෝශප් ප්‍රනාන්දු

ගෙදර මිදුල නොව මේ සුද්ද කරන්නේ මහා රක්‍ෂිතයකි (කැලෑ පාළුවා යන්නට සමාන වචනයක්‌ වේ නම් ඒ දේශපාලුවාය)

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 15යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

අන්තර්ජාලයෙන් සිහින ලෝකයට පිවිසෙන ලාංකික නිරුවත් ම්ලේච්ඡයෝ -- W3Lanka

ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේදී කියු කතාව ...... දේශපාලනඥයින්ට හොඳ ආදර්ශයක්..