lanka Journalist - Sri Lanka Reporters and Sri Lankan journalists political news

sinhala

  • Breaking News

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    facebook

    Thursday, May 7, 2020

    මාධ්‍ය නිදහස් සම්මාන ලාභිනියක හා අහඹු හමුවක් ගැන අමුතු කතාවක්.

    ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය හෙවත් World Press Freedom Day යෙදී තිබුණේ ඊයේටය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම්කරන ලද දිනයකි. ඔවුන් මේ දිනය සමරන්නේ කිසියම් රටක දී ජනමාධ්‍ය නිදහසට අදාළ 'ගෝලීය සම්මන්ත්‍රණයක්' සංවිධානය කරමින් හා යුනෙස්කෝ/ගිලර්මෝ කානෝ ලෝක ජන‍මාධ්‍ය නිදහස් ත්‍යාගය (UNESCO/Guillermo Cano World Press Freedom Prize) ප්‍රදානය කරමිනි.
    එහෙත් මේ ඒ ගැන නොවේ.
    මෙය ඊට වඩා පරණ කතාවකි. එහි මුල් කොටස බොහෝ දෙනෙක් දනිති.
    එහෙත් එහි දෙවැනි කොටස ඉතාම සීමිත පිරිසක් පමණක් දන්නා පෞද්ගලික අත්දැකීමකි.

    2006 වසරේ මෙම සැමරුම පැවැත්වීමට යුනෙස්කෝව විසින් තෝරාගනු ලැබුවේ ශ්‍රී ලංකාවයි. තෙදිනක සැමරුම අරඹමින් 2006 මැයි 02වැනි දා කොළඹ ප්‍රධාන හෝටලයක පැවැති සම්මාන රාත්‍රියට දෙස් විදෙස් මාධ්‍යවේදීහු, රාජ්‍ය තාන්ත්‍රිකයෝ හා සම්භාවනීය අමුත්තෝ සහභාගී වෙමින් සිටියහ. අපි ද ඒ අතර වීමු. එහෙත් උළෙල ආරම්භයේදීම වාගේ අප වෙත ආවේ නරක ආරංචියකි. අප එහි ඉන්නා අතරවාරයේ රටේ අනෙක් කොනේ ජනමාධ්‍ය ආයතනයකට මාරාන්තික ප්‍රහාරයක් එල්ලවී තිබිණි.

    කොළඹ දී යුනෙස්කෝව හා ආණ්ඩුව එකතු වී මාධ්‍ය නිදහස් දිනය සමරන විට ඊට සමාන්තරව යාපනයේ දී උදයන් පුවත්පත් කාර්යාලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර එහි සේවකයින් දෙදෙනකු ඝාතනය කරමින් මාධ්‍ය නිදහස සමරා තිබිණි.
    ආරංචිය ලද සැණින් ඒ ගැන උත්සව සභාව දැනුවත් කර අපේ විරෝධය පළකළ අප උළෙල වර්ජනය කරමින් නැගිට ඒමට තීරණය කළෙමු. ඒ වසරේ ලෝක මාද්‍ය නිදහස් ත්‍යාගයට හිමිකම් කී ලෙබනන් රූපවාහිනී ජනමාධ්‍යවේදිනියකවූ මේ ෂිඩියැක් (May Chidiac) ද සිය සම්මානය ලැබීමේ බලාපොරොත්තුවෙන් උත්සව සභාවේ සිටියාය. 2005 වසරේ කාර් බෝම්බ ඝාතන තැතකින් මරණාසන්න තුවාල ලබා දිවි ගලවාගත් නමුත් ඇය සිටියේ ඒ අනතුරින් රෝද පුටුවකට සීමාවුණු තත්ත්වයකය. උළෙල මුළුමනින් කඩාකප්පල් කිරීමේ අරමුණක් නැතත්, සහෝදර මාධ්‍ය ආයතනයකට මාරාන්තික ප්‍රහාරයක් එල්ලවී තිබිය දී, මෙබඳු ප්‍රහාර නවත්වන්නට කිසිදු සාධාරණ උත්සාහයක් නොදරන, එපමණක් නොව ඒ ප්‍රහාරවලට ආධාර හා අනුබලද දෙන ආණ්ඩුවක් සමග මාධ්‍ය නිදහස සැමරීමට අපට නොහැකි බැවින්, ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන නියෝජනය කරන අප උත්සව සභාවෙන් පිටව යන බවත්, එහෙත් මේ අවාසනාවන්ත තත්ත්වයට කිසිදු අයුරකින් සම්බන්ධයක් නැති සහෝදර මාධ්‍යවේදිනිය ලබන්නට යන ඇගයීමට අපේ සුබපැතුම් එක්කරන බවත් පවසා අපි උත්සව සභාවෙන් පිටව ආවෙමු.
    ඒ වනවිට අපට සිද්ධිය සම්බන්ධයෙන් ලැබී තිබූ තොරතුරු මත පිහිටා අප සියල්ලන් වෙනුවෙන් මේ ප්‍රකාශය සුනන්ද විසින් සිදුකරන ලද අතර, (මතක හැටියට) පෝද්දල, කනේසන්, කසුන්, අතුල, මංජුල, කොත්තිගොඩ, අමීන්, මුසම්මිල්, කමල්, අජිත් සමරනායක, අජිත් සෙනෙවිරත්න, නුවන් ලියනගේ, ධර්මසිරි සුනන්ද හා මා ද ඇතුළු (සියලු නම් මතක නැතිවීම/නිවැරැදි නොවීම ගැන කමන්න) පිරිසක් මෙසේ උළෙලින් නැගිට ආවෙමු. විදෙස් ජනමාධ්‍යවේදීන් අපේ විරෝධයට සම්බන්ධ කරගන්නට අපට අවශ්‍යතාවක් නොවුණු මුත් එවකට ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFJ) සභාපතිවරයා වූ ක්‍රිස්ට්‍රෝපර් වොරන් ද අප සමග නැගිට ආවේය.
    මේ කතාවේ බොහෝ දෙනෙක් දන්නා කොටස එයයි.

    දැන් කිහිප දෙනෙක් පමණක් දන්නා අත්දැකීමට එමු.
    2009 වසරේ සිට රටින් බැහැරව දිවිගෙවන මම 2010 වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) නියෝජනය කරමින් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ පැවැති ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාව (IMS) විසින් සංවිධානය කරන ලද මාධ්‍ය කතිකාවකට සහභාගී වීමි. මා ඇතුළු සිව් දෙනෙක් පමණ සංවාද සභාව ඇමතූ අතර, මේ කියන දවසින් වසර 4කට පෙර ශ්‍රී ලංකාවේදී සම්මානයට පාත්‍ර වූ මේ ෂිඩියැක් ද ඊට ඇතුළත් වූවාය.
    මා ලංකාවෙන් බව දැනගත් ඇය සංවාද සභාවෙන් අනතුරුව මා හා කියාසිටියේ තමන්ට ශ්‍රී ලංකාව පිළිබඳ සිත් රිදවන මතකයක් තිබෙන බවය. තමන්ට 'ජාත්‍යන්තර ජනමාධ්‍ය නිදහස් සම්මානය ලැබෙන උත්සවයේ දී එය වර්ජනය කරමින් ලංකාවේ මාධ්‍යවේදීන් පිරිසක් සභාවෙන් පිටව යාම' ඒ 'අප්‍රසන්න, සිත් රිදවන සිදුවීම' විය.
    මා ද එදා නැගිට ගිය කණ්ඩායමේ සාමාජිකයකුව සිටි බව මා කී විට කැළැඹීමට පත් ඇය වේදනාවෙන් විමසුවේ ''ඇයි ඔයාල මට එහෙම කළේ?" කියාය.
    තමන් ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් සම්මානයෙන් පිදෙන උළෙල දවසේ ඒ රටේ ජනමාධ්‍ය සමාජය තුළ සිදුවූයේ කුමක්දැයි ඇය වසර හතරක් තිස්සේ නොදැන සිටීම ගැන මා තුළ ද විමතියක් ඇති වුවත්, මම ඇයට මුළු සිදුවීමම යළිත් පැහැදිළි කරමින් මෙසේද කීවෙමි. "අපි පිටවෙලා යන්න කලින් එදා මේ කතාව බොහොම පැහැදිළිව කිව්වනෙ. අපි ඔයාට සුබපතල, ඉන්න නොලැබීම ගැන කණගාටුවත් ප්‍රකාශ කරලයි පිටවුණේ." එසේම ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් සම්මාන ලබන කෙනෙකුට මේ තත්ත්වය තේරුම් ගන්නට හැකිවන්නට ඇතැයි අප බලාපොරොත්තු වූ බවද කීවෙමි.

    "ඔව්, ඔයාල පිටවෙන්න කලින් ඒ කියපු දේ මං අහගෙන හිටියා." තරමක් ව්‍යාකූල වූ ඇය කීවා ය. "ඒත් එදා එතන හිටපු අනිත් හුඟක් අය ඔයාලටයි, ඔයාල කරපු දේටයි දොස් කිව්වා." අවසන මා තේරුම් ගත්තේ ඇය තමන් සම්මාන ලද උළෙලේ දී සිදුවූ ජනමාධ්‍යවේදීන්ගේ ම විරෝධ්‍ය දැක්වීමක් ගැන කල් අල්ලා හිටින අදහසකට අඩිතාලම දමාගෙන ඇත්තේ ඒ විරෝධතාව දැක්වූ මාධ්‍යවේදීන් ඍජුව කී දෙයින් නොව, ඔවුන් පිටව ගිය පසු ඉතිරි වූ පිරිස් විසින් කියන ලද දෙයින් බව ය. අඩුම තරමේ ඇය පසුවට හෝ ඒ සිදුවීම ගැන සොයානොබැලුවාදැ'යි මම මවිත වීමි.

    ''අපි එදා එතනින් පිටවෙලා ගියාට පස්සේ එතැන ලංකාවෙ අය කියල ඉතිරි වුණේ ආණ්ඩුවෙ දේශපාලකයො ටිකයි, නිලධාරීන් ටිකයි, එයාලට පක්ෂපාතී මාධ්‍යකාරයො ටිකකුයි විතරයිනෙ. ඉතින් ඒ වගේ පිරිසක් කියන දෙයකින් නිගමනයකට එළැඹෙන එක හරි කියල ඔයා හිතනවද?"
    ඇය ඊට නිශ්චිත පිළිතුරක් නොදී සිනාසුණා ය.

    කෙසේ වෙතත්, දැන් මේ සිදුවීමෙනුත් දශකයක කාලයක් ඉක්ම ගොසිනි.

    සනත් බාලසූරිය - Sanath Balasooriya

    No comments:

    Post a Comment

    Video

    lakdiva news

    root

    Culture