lanka Journalist - Sri Lanka Reporters and Sri Lankan journalists political news

sinhala

  • Breaking News

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    මාධ්‍ය නිදහස සහ ශ්‍රී ලංකාවේ කැලෑ නීතිය – සුනන්ද දේශප්‍රිය

    facebook

    Thursday, February 25, 2021

    නීතිඥ සංගම් නිලවරණය ගැන පසුකථනයක් - අථිල අතාවුද

    අද පැවති නීතිඥ සංගම් නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරඟ කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉන් ජයග්‍රහණය කරන ලද බව මොහොතකට පෙර දැනගතිමි. සියල්ලට පෙර එතුමන්ට උණුසුම් සුබපැතුම්!

    මෙම නිලවරණයේදී තරඟ වැදුණු අපේක්ෂකයන් දෙදෙනා අතරින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පිළිබඳව යම් අවබෝධයක් මට තිබුණි. මානව හිමිකම් ක්ෂේත්‍රය පිළිබඳ නොසිඳෙන ලැදියාවකින් සිටින මා හට එතුමන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව කලක පටන් තිබුණේ ප්‍රසාදයකි.

    ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා මම පුද්ගලිකව දැන සිටියේ නැත. නමුත් එතුමන් සමඟ ඉතා සමීපව කටයුතු කළ, මෙම නිළවරණයේදී එතුමන් ජයග්‍රහණය කරවීම සඳහා වෙහෙසුණු පුද්ගලයන් ගණනාවක් මාගේ ජීවිතයේ මට සමීපතම මට වැදගත්ම මා වඩාත්ම ගරු කරන පුද්ගලයන් කිහිපදෙනා අතර සිටින්නෝ වූහ.

    එසේ හෙයින් මෙම නිලවරණයේදී ඉතා බරපතළ අන්දමේ ලැදියාවන් අතර ගැටුමකට (Conflict of interests) මුහුණ දීමට මට සිදුවිය. එබැවින් නිලවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු ඒ පිළිබඳව හෝ අපේක්ෂකයන් පිළිබඳව කිසිදු අදහසක් පළකිරීමෙන් මම හිතාමතාම වැලකී සිටියෙමි.

    දැන් නිලවරණය අවසන් වී ඇත. එබැවින් නිලවරණයේ ප්‍රතිඵලය පිළිබඳව මට හැඟෙන ආකාරය පිළිබඳව අවංක පසුකථනයක යෙදීමට සුදුසුම අවස්ථාව මෙය බව කල්පනා කරමි. ඒ පිළිබඳව කිසිවෙකු මා සමඟ උරණ නොවනු ඇතැයි සිතමි.

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට ආරම්භයේ පටන්ම සෙලැවිය නොහැකි වාසියක් තිබුණි. ඒ එතුමන්ගෙන් උගෙන නීතිඥ වරම් ලබාගත් අති විශාල ශිෂ්‍ය ප්‍රජාවයි. එබැවින් සාලිය පීරිස් යන නම ⁣අගනුවරින් බොහෝ දුරබැහැර අධිකරණ වලට පවා නුපුරුදු නමක් වූයේ නැත.

    ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා පිළිබඳව එවන් ප්‍රසිද්ධියක් අගනුවරින් බැහැර තිබුණේ නැත. ඇතැම් නීතිඥවරුන් එවන් නමක් පළමු වරට ඇසුවේද මෙම නිලවරණයේදී බව කියනු මට ඇසී ඇත. එබැවින් දීප ව්‍යාප්ත ප්‍රසිද්ධිය අතින් ගත්කළ කුවේර ද සොයිසා මහතා සටන ආරම්භ කළේ පසුපසින් සිටිමිනි.

    නමුත් එතුමාගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූ පිරිස පසුගිය කාල සීමාව තුල එතුමාගේ නම රටම දන්නා නමක් බවට පත්කිරීමට සමත් වූ බව පිළිගත යුතුවා මෙන්ම ඒ සම්බන්ධයෙන් ගෞරවය ඔවුන්ට හිමි විය යුතුය. නමුත් ජයග්‍රහණයක් සඳහා එය ප්‍රමාණවත් වීද? කිසිසේත් නැත.

    ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතාගේ ඡන්ද ව්‍යාපාරයේ පැවැති බරපතළම අඩුපාඩුව ලෙස මා දකින්නේ, එතුමන් වෙනුවෙන් ඇතැම් ආධාරකරුවන් ගෙන ගිය ප්‍රචාරක ප්‍රවේශයයි. එම ප්‍රවේශය පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පොහොට්ටුව ගත් ප්‍රවේශයෙන් වෙනස් වන්නේ යැයි යමෙකු කියන්නේ නම් ඒ ඉතාම සුළු ප්‍රමාණයකින් විය යුතුය.

    භාවිත කළ සටන්පාඨ, උපක්‍රම, ප්‍රචාරක විධි, න්‍යායන් ආදී සියල්ල පොහොට්ටු මැතිවරණ ව්‍යාපාරයට සර්ව සම ලෙස පෙනුණි. ඇතැම් ආධාරකරුවන් එය එසේම බව කෙළින්ම කියූ අවස්ථාද විය. එවන් තත්වයක් තුල තමන් කිසිඳු දේශපාලන පක්ෂයක් සමඟ සම්බන්ධතාවයක් නැති බව කුවේර ද සොයිසා මහතා කෙතෙක් පුන පුනා කීවද එය ඇසුණේ අතලොස්සකට පමණි.

    රට පාවාදීම, සිංහල ජාතිය, බෞද්ධාගම වැනි නීතිඥ සංගම් නිලවරණයකට බොහෝ දුරස්ථ කාරණා පවා ඇතැම් අය මහත් ඕනෑකමින් කතා කරනු පෙනු⁣ණි. එය ජාතික දේශපාලන තලයේ සිංහල ජාතිය සහ බෞද්ධාගම මුල් කරගෙන දේශපාලනයේ නියැලෙන ඇතැම් අයගේ පවා දැඩි විවේචනයට ලක්වෙනු දුටුවෙමි.

    ආගම සහ ජාතිය මට නම් අති පෞද්ගලික කාරණාය. යම් තීරණාත්මක අවස්ථාවකදී ආගම සහ ජාතියට අදාල යම් කරුණක් ඉස්මතු කෙරෙන්නේ නම් එතැනදී තාර්කික තීරණයකට එළැඹීමට වඩා වැඩි නැඹුරුවක් ඇති වන්නේ තාර්කික කරුණු සියල්ල පසෙක තිබියදී ආගම සහ ජාතියට අදාළව ඉස්මතු වන කරුණක් හෝ දෙකක් මත සමස්ථය තීරණය කරන්නට සිදුවන වාතාවරණයකි. එය සම්පූර්ණයෙන්ම අයෝග්‍ය, අසාධාරණ සහ අතාර්කික තත්වයකි. එබැවින් මැතිවරණ නිලවරණ ආදියේදී ආගම, ජාතිය, කුලය වැනි කාරණා භාවිත කළ නොහැකි තත්වයට පත්වීම හෝ පත්කැරලීම සෑම අතින්ම ඉතා හිතකර වේ.

    එබැවින් යම් අයෙකු ආගම ජාතිය අදාළ නොවන තැනක තීරණයක් ගැනීමට පෙර ජාතිය ආගම ගැන සඳහන් කරන්නේ නම් මම සාමාන්‍යයෙන් එසැවූ පය බිමට නොතබා "මොහු මෙතැනට අදාළම නැති පෞද්ගලිකව සංවේදී කාරණයක් ගැන කියන්නේ මන්ද?" යනුවෙන් කල්පනා කරමි. එනම් ජාතිය ආගම මගේ තීරණ වලට පදනම් කරගත යුතුයැයි කියන ඕනෑම තැනැත්තෙකු දෙස මම පුරුද්දක් ලෙස බලන්නේ සැකයෙනි.

    අපේක්ෂකයන් දෙදෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශ වල ඉතා සාධනීය කාරණා රාශියක් තිබුණි. ඒවා කෙසේ වුවද ප්‍රායෝගිකව තීරණාත්මක කරුණු ලෙස සාකච්ඡාවට ගැනුණේ ඉහත කී ඒවාය. ඒවා නීතිඥවරුන්ට කෙතරම් දුරට අදාළ වන්නේද යන්න පිළිබඳව සැළකිල්ලක් ඇති බවක් නොපෙනුණි.

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට සහාය දැක්වූ, දේශපාලනිකව ප්‍රබල පොහොට්ටු ක්‍රියාකාරිකයෙකු වන මගේ උගත් මිතුරෙකු අද උදෑසන මෙසේ කීවේය. "BASL එකේ සභාපති වෙලා රට පාවාදෙන්න පුළුවන් නම්, රටේ ජනාධිපති අගමැති එහෙම ඉන්නෙ එතකල් පොල් ගාන්නද?"

    මා දන්නා පරිදි නීතිඥ සංගමයේ සභාපතිවරයා විධායක කමිටුවට ඍජුවම වගකිව යුතුය. එහි අනුමැතියක් නොමැතිව නිල ප්‍රකාශයක් හෝ නිකුත් කිරීමට සභාපතිවරයාට හැකියාවක් නැත. මීට වසර තුනකට පමණ පෙර දින 52 ආණ්ඩුව අවස්ථාවේදී, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව එවකට නීතිඥ සංගමයේ සභාපතිතුමා ස්වාධීන රූපවාහිනියට ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. ITN නාලිකාවද එය විකාශය කළේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීත්‍යානුකූලය යන ප්‍රකාශය නීතිඥ සංගමයේ මතය යැයි හැඟවෙන අයුරිනි. එයට එරෙහිව මහා කලබැගෑනියක් ඇතිවී (මගේ මතකය නිවැරදි නම්) එම ප්‍රකාශය පිළිබඳව කණගාටුව පළකිරීමට එවක සභාපතිවරයාට සිදුවිය.

    මෙවන් තත්වයන් සාමාන්‍ය ජනතාව නොදැන සිටියද නීතිඥවරුන් යම් පමණකට හෝ දනිති. දේශපාලනික කාරණා පිළිබඳවද ඊට සමගාමී නීතිමය පැත්ත පිළිබඳවද අවබෝධයක් ඔවුන්ට ඇත. එවන් අවබෝධයක් ඇති ප්‍රජාවක් ඉලක්ක කර සිදුකරන ප්‍රකාශ හැකිතාක් බරසාරව ඉදිරිපත් කරනවා විනා, මහමැතිවරණයකදී මෙන් රට ජාතිය ගැන සිහි ගන්වා ලේ කෝප කරවා ලබා ගැනීම කළ නොහැකි බව සැළකිල්ලට ගත යුතුව තිබිණ. "අපි බබාලා කියලද හිතාගෙන ඉන්නෙ?" යනුවෙන් ඇතැමුන් ඇසුවේ ඒ නිසාය.

    විශේෂයෙන් කොළඹින් දුර බැහැර අධිකරණ වල නීතිඥ මහත්ම මහත්මීන් සභාපති ධුරය සඳහා කුවේර ද සොයිසා යන නම සළකා බලන්නට හෝ ඉදිරිපත් වන්නේ තවත් කෙනෙකුගේ නිර්දේශයක් මතය. එය "A නැමැත්තා Bව දනී. B තැනැත්තා Cව දනී. A සහ C හඳුනන්නේ නැත. නමුත් Bගේ නිර්දේශය මත C තමාගේ ඡන්දය Aට දෙනු ලබයි" වැනි තත්වයකි.

    එවිට සටන් පාඨ ලෙස ඉදිරිපත් කරන දෑ රෙකමදාරුව සිදුකරන අතරමැදියා අපහසුතාවයට පත් නොවන, ඔහුට නොබියව ඡන්ද දායකයා වෙත ඉදිරිපත් කළ හැකි කාරණා විය යුතුමය. ඒ පිළිබඳව නිසි අවධානය යොමුකර තිබූ බවක් පෙනුණේ නැත.

    යම් අපේක්ෂකයෙකු හෝ ඔහුගේ ආධාරකරුවන් දිගින් දිගටම තමාව දිනවිය යුත්තේ ඇයි යන්න තහවුරු කරන්ට උදව් වෙන කාරණා කතා කිරීම වෙනුවට, අනෙකා පැරදවිය යුත්තේ ඇයි, අනිකාට දිනන්නට ඉඩ නොදිය යුත්තේ ඇයි යනාදී වශයෙන් ඍණාත්මකව කරුණු දක්වන කල ස්වභාවයෙන්ම එය ඇසීමට අප්‍රසන්න කතාවක් බවට පත්වේ. නිතැතින්ම ඊට විරුද්ධ අතට සිතීමට පටන්ගනී. එතරම් වෙහෙස මහන්සි වී එපා කියන නිසා එයම කිරීමට නැඹුරුවක්ද ඇතිවේ.

    නීතිඥ සංගම් නිලවරණය මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය නොවේ. එහි යම් අවම ප්‍රමිතියක් සහ වෘත්තීයමය බවක් තිබිය යුතුය. යම් ප්‍රචාරක ව්‍යාපෘතියක එකී ප්‍රමිතිය ගිලිහී යයිද, එතැන් සිට කරන කියන සියලු දෑ විහින් මඩේ පැනීමක් බවට පත්වේ.

    එතැනින් එහාට කියන්නට දෙයක් නැත. ඡන්ද ප්‍රතිඵල අතර පරතරය සියළු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදී ඇත. උගත් මිතුරන් බහුතරයක් එක්ව ඉතා වැදගත් පාඩමක් උගන්වා ඇත. "නීතිඥ සංගම් නිලවරණය ජනාධිපතිවරණයක් නොවේ, ඡන්ද දායකයින් මෝඩයන්ද නොවේ" යන්න එම පාඩමයි.

    අනාගත නිලවරණ වලදීද ජාතික දේශපාලනයේ ජනප්‍රියවාදී උපක්‍රම නීතිඥ සංගම් නිලවරණයේදී යෙදීමට ගොස් මෙවර වූ හදිය ඉතා වැදගත් මතක සටහනක් වනවා ඇත.

    ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා හොඳ පරිපාලකයෙකු බව මම අසා ඇත. එය සත්‍යයක් වන්නේ නම් ඔහුගේ පරාජය හේතුවෙන් එතුමන්ගේ දක්ෂ පරිපාලනමය කුසලතාවය නීතිඥ සංගමයට අහිමි වීම පිළිබඳව මම අවංකවම කණගාටු වෙමි.

    නමුත් එම පරාජයෙන් අහිමි වී ගියේ ඇතැමුන් කියන පරිදි රට ජාතිය ආගම බේරාගැනීමට තිබූ අවස්ථාවක් නම් ඒ පිළිබඳව මා බිඳකුදු කණගාටු නොවන බවත් එම ස්ථාවරය මද සිනාවෙන් බැහැර කරන බවත් කිව යුතුමය.

    තේරී පත්වුණු නව සභාපතිතුමන්ට නැවතත් සුබ පතමි.

    අථිල අතාවුද  Athila Athauda ෆේස්බුක් -

    https://www.facebook.com/photo?fbid=1444742939191088&set=a.150917738573621

    No comments:

    Post a Comment

    facebook

    Video

    lakdiva news

    root

    Culture